ගෝලීයකරණය සමඟ අපට හිමි වූ එක් අගනා ත්‍යාගයකි කොරියානු පොප් සංගීත කලාව. දෙනෙත් සහ දෙසවන් පිනවමින්, සංගීීතය යනු භාෂා බාධක වලින් ඔබ්බට යමින් ලොව පුරා මිලියන ගණනක් වූ ප්‍රජාව සමගියෙන් එකට එකතු කළ හැකි බලවත් මාධ්‍යයක් බව පසක් කර දීමට K-pop හේතු කාරණාවක් වූ බව නොරහසකි. මෙහි පුරෝගාමීන් ලෙස හඳුන්වා දිය හැක්කේ මේ වන විට ලොව විශාලතම පොප් සංගීත කණ්ඩායම බවට පත් වූ ප්‍රථම සහ එකම ආසියානු සංගීත කණ්ඩායම වන සහ, 2023 ලොව බලවත්ම සන්නාම සියය (The Legacy Makers 100: The Most Impactful Brands) අතරට එක් වූ එකම සංගීත කණ්ඩායම වන BTS (BangTan Sonyeondan) පොප් සංගීත කණ්ඩායමයි.
BTS හි බලපෑම අප රටේ ආර්ථික සහ මනෝ සමාජීය සංවර්ධන සිහිනයන් වෙනුවෙන් අදාළ කර ගන්නේ කෙසේද යන්න මෙම රචනාවේ අරමුණයි. කුඩා ගරාජයක් සිය කුටිය ලෙස බෙදාහදා ගත් දකුණු කොරියානු තරුණයින් හත් දෙනෙකු, ඇමෙරිකානු සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් ලොව ප්‍රබල බිලියනපතියන් හත් දෙනෙකු බවට පත් වූයේ කෙසේ ද? වාර්තාගත වන ආකාරයට BTS විසින් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.65 ක ආදායමක් කොරියානු දළ දේශීය නිශ්පාදිතයට රැගෙන එයි (Lyu, 2024).
BTS යනු හුදෙක් දකුණු කොරියානු ආර්ථික මෙවලමක් නොවේ. ඔවුන්ගේ බලපෑම හුදු දකුණු කොරියානු සංගීත සංස්කෘතිය ඉක්මවා ගිය, රාජ්‍යතාන්ත්‍රික, සංස්කෘතික කර්මාන්තය ගෝලීයකරණය කළ සංස්කෘතික සංසිද්ධියකි. 2018, 2020, හා 2021 යන වර්ෂයන් වලදී එක්සත් ජාතීන්ගේ මහ සභාව තෙවරක් ඇමතූ BTS, 2021 වර්ෂයේදී දකුණු කොරියාව නියෝජනය කරමින් විශේෂ රාජ්‍යතාන්ත්‍රිකයින් ලෙස ඉදිරිපත් වන ලදි.
කලාකරුවෙකුගේ සාර්ථකත්වය ඔහුගේ නිර්මාණ වල බලපෑම මත රඳා පවතියි. ඒසේ නම් BTS නිර්මාණ මෙතරම් සාර්ථක ලෙස වැළඳගන්නන් කවුද? BTS සංගීත ලෝලීන් A.R.M.Y. යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර මෙහි අර්ථය නොදන්නා බොහෝ දෙනා විසින් වැරදි ලෙසට අර්ථකථනය කරනු ලබයි. A.R.M.Y. යනු කෙටි යෙදුමක් වන අතර එහි නියම අර්ථය ‘Adorable Representative MC of Youth’ යන්න යි.
2013 වර්ෂයේ ජුනි මස 13 වන දින BigHit නම් බංකොලොත් වීමට ඔන්න මෙන්න තිබූ ආයතනය විසින් BTS කරළියට ගෙන එන ලදි. එවකට ප්‍රකට වූ දකුණු කොරියාවේ අනෙකුත් විශාල විනෝදාස්වාද කටයුතු සඳහා වූ ආයතන, ජනමාධ්‍යවේදීන්, ජ්‍යෙෂ්ඨ සංගීත කණ්ඩායම් සහ ඔවුන්ගේ සංගීත ලෝලී ප්‍රජාවගෙන් මෙම තරුණයින් හට නොයෙකුත් කෙණෙහිලිකම් සිදු වූ බව නොරහසකි. BTS විසින් නිකුත් කරන ලද Cypher, Ddaeng, UGH!, Mic Drop වැනි ගීත කීපයකම ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇත. වැඩිහිටි ප්‍රජාව විසින් තරුණ ප්‍රජාවට සලකන නීච ආකාරයට තිත තැබීමට සිය රචනා සහ ගායන හැකියාවන්ගෙන් හරවත් ලෙස ප්‍රයෝජන ගැනීමෙහි ලා BTS සමත් ය. වර්ගවාදී කණ්ඩායම් විසින් BTS හුදෙක් අවුරුදු පහළොවක් තරම් වූ ගැහැණු ළමුන් රූමත් තරුණයින්ට රවට්ටගන්නා වෙළඳාමක් ලෙස හුවා දැක්වූවත් BTS නිර්මාණ කෙරෙහි අවධානය යොමු කළ විට මෙම අදහස සාවද්‍ය බව පෙනෙයි. සත්‍ය නම්, බොහෝ BTS නිර්මාණ වල අන්තර්ගත වන ගැඹුරු සමාජ-දේශපාලනික ගැටළු, තාරුණ්‍යය විසින් මුහුණ පාන මානසික ගැටළු, වැඩිහිටි ප්‍රජාව විසින් තරුණ ප්‍රජාව වෙත පටවා ඇති අසීමාන්තික වූත් අභව්‍ය වූත් පීඩාකාරී අපේක්ෂාවන් පිළිබඳ කරුණු කාරණා වයස් භේදයකින් තොරව වැඩි දෙනෙකුට අදාළ වන බවයි.
“කවුරුන් ද අපව ඉගෙනුම් යන්ත්‍ර බවට පත් කළේ?
පළමුවෙනියා වූයේ නැති නම් පරාජිකයා ය
වැඩිහිටියන්, ඔවුහු අප සීමාවන් තුළ සිරකර ඇත්තෝය
අවනත වනු හැර වෙනත් තීරණයක් ද ගත නොහැකි ය
සරලව සිතුවද එය සුදුස්සන්ගේ පැවැත්ම යි
අඹ යහළුවන් පවා පාගා දමා ඉහළට යන්නට අපට ඉගැන්නුවේ කවුරුන් කියා ද ඔබ සිතන්නේ?”
(N.O by BTS)
පීඩාකාරී අධ්‍යාපන රටාව සංවර්ධිත රටක් වූ දකුණු කොරියාවට පමණක් අදාළ වන්නක් නො වේ. ශ්‍රී ලංකාවේ ද නිතර කථිකාවට ලක්වෙන උණුසුම් තේමාවකි මෙය. මෙම ගීතය තුළ ඉතා හොඳින් මෙම භීෂණකාරී ක්‍රමය පිළිබඳ තේරුම් කරන අතර ඊට එරෙහිවන ලෙස ඉල්ලීමක් කරයි. පන්තියේ හොඳම මිතුරාට එරෙහිව කේලමක් කියා හෝ තමාගේ ලකුණක් වැඩිකර ගැනීමට ළමුන් පෙළඹෙන්නේ මන් ද? හොර මැරකමක් හෝ කර උපයා ගැනීමට, ජයග්‍රහණය කිරීමට පෙළඹීමේ උපත මෙය නොවේ ද? පාසල, නිවස, ටියුෂන් පන්තිය හැරෙන්නට ලොවක් දරුවන්ට නැත. රටක අනාගතය නම් එහි දරුවෝ ය. ආර්ථික අතින් කෙතරම් සංවර්ධිත රටක් වුව ද එහි ප්‍රජාව අසතුටින් නම් එහි ඇති පලය කුමක් ද යන්න නැගිය හැකි ප්‍රශ්නයකි. රටක් කුමන අතකින් හෝ සංවර්ධනය කිරීමට පෙර එහි මානව සම්පත සංවර්ධනය විය යුතු ය.
‘School of Tears’ යනු පාසල් තුළ සිදුවන වධ හිංසා (ලංකාවේ නම් විශ්ව විද්‍යාල නවක වධය වැනි) ආමන්ත්‍රණය කරන ගීතයකි.
“පාසල තවත් කුඩා සමාජයක් වැන්නකි
වැඩිහිටියන් විසින් නොසැලකිලිමත් ලෙස තනන ලද වනයකි
දුර්වලයින් තලා පෙලන, ශක්තිවන්තයන් තවත් බලවත් කරන
සැබැවින්ම! ඔවුහු ශක්තිමත් නිසා
දුර්වලයින් දුකට පත් කරත්
යහළුවන් සිටින්නේ මවා පෑමට පමණක් යැ යි උගන්වමින් ගොඩ නැගුණු සමාජයක
වැඩිහිටියන්ගේ සදාචාරය අපව දුර්වලයන් පාගා දමා ඉහළට යාමට ලක් කරන ලදි
ශාරීරික දඬුවම් තහනම් කරන ලදි
එයත් ඊට බල කළ නිසා පමණි
“මම ඊට සම්බන්ධ නැති නිසා මම නොදනිමි” යන්න නිදහසට කරුණක් බවට පත් විය
එය සත්‍යයකි, සමාජය නරඹන්නන්ගෙන් පිරී ඇත
ඔවුන් අපරාධකරුවන්ට වැඩි වෙනසක් නැත”
(School of Tears by BTS’ RM, Jin, and Suga)
Bystander effect යනු සමාජ මනෝවිද්‍යාඥයින් දෙදෙනෙකු වූ ජෝන් එම්. ඩාර්ලි සහ බිබ් ලටානේ විසින් ඉදිරිපත් කරන ලද සමාජ සංසිද්ධියකි. ඊට අනුව හදිසි අවස්ථාවකදී අන් අය අතර සිටීම පුද්ගලයින් උපකාර කිරීමට බාධාවක් වීම යි. මෙහිදී ඔවුන් නරඹන්නන් වන්නේ වෙනෙකෙක් උපකාරයට ඉදිරිපත් වේ යැ යි සිතමිනි. ඉහත ගීතයට අනුව වධ හිංසා නරඹා ඇඟ බේරගන්නා අපරාධකරුට වැඩියෙන් වෙනස් අයෙකු නො වන බව කියා පායි. යුක්තිය ඉටු කිරීමට නම් අයෙක් නිර්භීතව නිවැරදි දේ තෝරාගත යුතු බව ඉන් කියැ වේ.
No More Dream යනු BTS කණ්ඩායමක් ලෙස කරළියට පැමිණ නිකුත් කළ ප්‍රථම ගීතය යි. වත්මන් කොරියානු අධ්‍යාපන ක්‍රමය හෙළා දකින මෙම ගීතය වෙනසක් සිදු කිරීමට කාලය එළැඹ ඇති බව දැනුවත් කිරීමක් කරයි. ශ්‍රි ලංකාවේ ද අධ්‍යාපනය ක්‍රමයේ ඇති දෘඩතාව සහ රැකියා අපේක්ෂාවන්හි විරහිත භාවය අපට ඇති ගැටළුවකි. රූකඩ මෙන් ජීවත් වන දරුවන්ගේ අනාගතය පිළිබඳ වගකීම ගන්නේ කවුරුන්ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. Spine Breaker යනු තවත් මෙම තරගකාරී අධ්‍යාපන ක්‍රමය විවේචනයට ලක් කරන ගීතයකි.
දේශපාලනික-ආර්ථික ගැටළු ද ඇතැම් ගීතයන් මඟින් නිරූපනය කරයි. ‘Dope’, ‘Am I Wrong’, ‘Haegeum’, සහ ‘Baepsae/Silver Spoon’ යනු එවන් ගීත නිර්මාණයන් කීපයකි. ආර්ථික උද්ධමනය ලාංකික අපට පමණක් ඇති ගැටළුවක් පමණක් නොවේ. අධික ජීවන වියදම් හේතුවෙන් පමණ ඉක්මවා වැඩ කිරීම දකුණු කොරියානු තරුණ පරම්පරාව මුහුණ පා ඇති ගැටළුවකි. වැඩිහිටි පරම්පරාව විසින් විකෘති කරන ලද ආර්ථිකයක බර දැරීමට තරුණ පරම්පරාවට අසාධාරණ ලෙස සිදු වන අතර අුවම පඩියට හෝ පඩි නැතිවම වැඩ කරන සීමාවාසික තරුණ ප්‍රජාව ශ්‍රී ලංකාවේ දුක්ඛිත ලෙස ශ්‍රම සූරා කෑමට ලක් වේ. පඩි ලබන්නන්නට ද ලැබෙන සොච්චම යන්නේ රැකියාවට යන එන ගමන් වියදමට ය.
“‘අර්ථ නිරූපනයේ නිදහස සැමට ඇත’
මුග්ධ කියමන් වලින් ඉවත් වන්න
ප්‍රකාශනයට ඇති නිදහස
යමෙකුගේ මරණයට හේතු විය හැකි ය
ඔබගේ දණ්ඩ විනිශ්චයන් ඔබේ අනුමාන සහ විචාරයන් මත පිළිඹිබු වන්නේ නම්
ඔබ තවමත් එය නිදහසක් ලෙස සලකන්නේ ද?…”
(Haegeum by BTS’ Suga/ Agust D)
‘හෙගම්’ (Haegeum) යනු සාම්ප්‍රදායික කොරියානු තත් භාණ්ඩයකි. මෙම ගීතයේ මාතෘකාව ද්විත්ව අර්ථයක් ගෙන දෙන්නේ එය තහනමක් ඉවත් කිරීමේ හෝ අගුලු ඇරීමේ ක්‍රියාවන් සඳහා ද යොදා ගන්නා බැවිනි. මෙම රැප් ගීතය විමුක්තිය, කලාත්මක නිදහස, හා සමාජ සීමාවන් ප්‍රශ්න කිරීම යනාදිය තේමා කර ගනීී. ශ්‍රාවකයන්ට ස්වයං පනවන ලද හෝ සමාජීය සීමාවන්ගෙන් මිදීමට මෙය රුකුල් දෙන අතර සැබෑ වගකිවයුතු නිදහස හුදු ස්වයං තෘප්තියෙන් වෙන් කර හඳුනා ගැනීමට සමත් ය.
“මම තවමත් දෑස් පියාගෙන මෙතැන සිටගෙන සිටිමි
කාන්තාරය සහ සාගරය අතර අතරමං වී
මම තවමත් ඉබාගාතේ යමින් සිටිමි
කොහේද මා යා යුත්තේ?
නොදැන සිටියෙමි,
මට යා ගත නොහැකි මාවත් මෙතරම් ඇති බව
කෙදිනකවත් මෙසේ දැනී නැත
මා වැඩිහිටියෙකු වී ඇත් ද?”
(Lost by BTS)
ගායකයින් ලෙසට අවුරුදු පහළොව සහ දහසය වන කුඩා අවධියේ සිටම පුහුණු වූ ඔවුන් ගායකයින් ලෙසට සාර්ථක වීමේ සිහිනය සැබෑවක් වේවීද යන්න පිළිබඳ වූ අස්ථිර හැඟීම් සහ සිතුවිලි මෙම ගීතයෙන් නිරූපනය කරයි. අනාගත අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සුවපහසු කාර්යයක් නො වේ. වයසින් වැඩිමහලූ වන්නට වන්නට ජීවිතය කෙතරම් අසීරු වනවාද යන සත්‍යය එතුළ ගැබ් වී ඇති අතර, ජීවිතය කාන්තාරය මෙන් කටුක සහ වියළි වන සේ ම සාගරය සේ අතිමහත් බවත් පෙන්වා දෙයි. අපට නොදැනීම අපි වැඩිහිටියන් බවට පත් වන අතර සුදුසු ජීවනෝපායක් තෝරා ගැනීම තරුණ අපට කෙතරම් අසීරු ද යන්න පසක් කර ගනු වෙනුවට මුළුමහත් සමාජය විසින් අපගේ කර මතට අපේක්ෂාවන් පැටවීම සිදු කරයි. එය පරම්පරාගත ශාපයකි. ‘Baepsae (Silver Spoon)’ වැනි BTS ගීතයන් මඟින් මෙවන් ගැටළුකාරී තත්වයන් පිළිබඳ අවබෝධය සමාජගත කරන අතර මින් මිදී අනාගත පරපුර වෙනුවෙන් ජීවිතය වඩා යහපත් කිරීමට රුකුල් දේ.
ස්වයං හැකියාවන් පිළිබඳ ඇති වන සැකය, අනාරක්ෂිත හැඟීම් අපි කාටත් පොදු ය. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අන්‍යන්ගේ වලංගුකරණය පිළිබඳ විශාල උනන්දුවක් දක්වයි. පොප් සංගීත ක්ෂේත්‍රයේ යෝධයින් වන BTS සාමාජිකයන්ට ද එය එසේම බව ඔවුහු සිය ගීත මඟින් ප්‍රකාශ කර සිටිති. මෙම අවංක භාවය හා මෘදු හැඟීම් ප්‍රකාශනය ශ්‍රාවකයන්ට ගෙන දෙන්නේ සැනසීමකි. ඉන් තමාගේ අභ්‍යන්තර ආත්ම පිළිඹිබුවක් කර ගැනීමට අසන්නාට ඉඩ සලසයි. ‘Zero O’ Clock’ නම් ගීතය තුළින් ඒ වඩාත් හොඳින් පැහැදිලි කරයි. කෙතරම් අඩුපාඩු තිබුණද සිදුවන සියල්ල අපේ පාලනයේ නොමැති අවස්ථාවන් එමට ය. කෙතරම් දුක් වුව ද කෙතරම් පසුතැවීම් තිබුණ ද ජීවිතය ඉදිරියට ගලා යන බැවින් අලුත් දිනකදී අලුත් ආරම්භයක් ලබා ගැනීමට එය බාධාවක් කර නො ගන්නා ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.
BTS යන ආරකය මුග්ධයන්ට නොවන බවට කියමනක් පවතී. එනම්, කලාව, සාහිත්‍යය, සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව, යනා දී විෂය දැනුම නො මැතිව ඔවුන්ගේ ගීත සංකල්ප හඳුනාගත නො හැකි බවයි. සත්‍ය වශයෙන්ම මෙවන් විෂය පථයන් කෙරේ ඔබේ අවධානය යොමු කිරීමට හැකියාවක් මෙම ගීත සතුව ඇත. ඊට හොඳම උදාහරණය නම් 2020 වර්ෂයේ දී නිකුත් කළ ‘Map of The Soul:7’ සංගීත ඇල්බමය යි. මෙහි අන්තර්ගත ‘Intro: Persona’, ‘Interlude: Shadow’, ‘Outro: Ego’ යන සංගීත පට තුන මනෝවිද්‍යා සංකල්ප තුනක් ආශ්‍රයෙන් නිර්මාණය කර තිබීම යි. ස්විස් මනෝවිද්‍යාඥයෙකු වන කාර්ල් යුන් විසින් හඳුන්වා දෙන ලද මිනිස් පෞරුෂ ව්‍යුහයේ අංග තුනකි මේ රැප් සංගීතයෙන් ඉදිරිපත් කෙරෙනුයේ.
මෙම ගීත ත්‍රිත්වයෙහි සමස්ත අන්තර්ගතය නම් ඔබ කුමන තරාතිරමක පුද්ගලයෙකු වුව ද ඔබට ඔබෙන්, ඔබේ හෘද සාක්ෂියෙන් ගැලවී යා ගත නො හැකි බවයි. එම නිසා නිහතමානී වීම අප කාටත් සුදුසු ය. සමාජය අපෙන් කුමක් අපේක්ෂා කළ ද තමන්ට අවංක වීම ප්‍රථම කර ගත යුතු ය. ඔබේ අභ්‍යන්තර පිළිඹිබුව මඟින් ඔබ කවුද, ඔබේ අනන්‍යතාවය කුමක් ද යන්න දැන ඔබ කෙරේ ආත්ම විශ්වාසය තබා ගැටළු වලට නිර්මාණාත්මක විසඳුම් සොයා ගැනීම මැනවි.
BTS හි බලපෑම එපමණක් නොවේ. ලොව පුරා ඔවුන්ගේ සංගීත ලෝලීන් වන ARMY, වෙනම සමාජයක් ලෙස ඔවුන්ගේ නමින් නොයෙකුත් සමාජ කටයුතු වල නිරත වෙයි. සෑම සංගීත සංදර්ශනයකටම පසුව වේදිකා පරිශ්‍රය අස්පස් කිරීමට මෙම තරුණයින් යුහුසුළු වන අතර මෙම ආදර්ශය ඔස්සේ තමන් සිටි පරිශ්‍රය ද පිරිසිදු කර යාමට ARMY සමාජය කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ද මෙවන් සමාජ සේවා කටයුතු රාශියක් ලාංකික BTS සංගීත ලෝලීුන් විසින් සිදු කර ඇත. BANGTAN SRI LANKA ලෙස සිය සමාජ සේවාවන් පිළිබඳ සියලු ලාංකික ප්‍රජාවට ආඩම්බරයක් වන ලෙස කටයුතු කිරීමට ඔවුන් සමත් වී ඇත.
ශ්‍රී ලංකාව යනු අපටම අද්විතීය වූ භාෂාවක්, කලාවක් ඇති රටකි. සිංහල යනු අපටම අනන්‍ය වූ භාෂාවකි. අප රටේ කලාකරුවන් වෙනුවෙන් විසල් වේදිකාවක් ඉදිකර අපේ අනන්‍යතාවය ලොව ඉදිරියේ ප්‍රකාශ කිරීමට ඇති නම් එය රටට මහත් ආඩම්බරයක් වනවා නිසැක ය. කලාකරුවන් වෙනුවෙන් අදාළ අවධානයක් බලධාරීන්ගෙන් හිමිවනවා නම්. එකවර සිදු කළ නොහැක්කක් වුවද අපට බැරි නැත. BTS පටන් ගත් තැනින් අපටද පටන් ගැනීමට හැකි ය. එමඟින් මෙරටට ලබා ගත හැකි විදේශ විනිමය ගැන සිතා බැලිය යුතුය. කොපමණ ලාංකිකයන්ට එය ආදායම් සහ රැකියා අවස්ථා ලබා දෙන්නක් ද? සංචාරක කර්මාන්තයේ ඉහළින් සිටින අපට විදේශිකයන් ඇද ගැනීම අපහසු දෙයක් නොවන බව විශ්වාසය. විනෝදාස්වාදය කර්මාන්තයක් කර ගැනීම අපට කෙතරම් ප්‍රයෝජනවත් වනු ඇති ද.
ඉදින් ආහාර සොයා යන කූඹියෙකු දවස් ගණනක් ආහාර නොමැතිව මහමග ලත වෙන්නාක් මෙන් ජීවිතයේ අරමුණු සොයා යන අපි ද ඒ සොයා ගනු නො හී අවුරුදු ගණන් ලත වෙමු. අවසානයේ ආහාර සොයාගන්නා කූඹියා පිම්මේ කොලනියට දුවන්නාක් සේ අපි ද නිවැරදි මං සොයා ගත් පසු එක්ව සැමරිය හැකිය. මේ අයුරින් සංවර්ධනයේ නිසි මං මාවත් සොයමින් අපි තවමත් කූඹීන් මෙන් ඒ මේ අත විසිරී පිය මං කරමින් සිටිමු. ජීවිතය යනු අපගේ අත්දැකීම්, වත්මන් ක්‍රියාකාරකම්, අනාගත බලාපොරොත්තු, අනාගතය වෙනුවෙන් ඇති බිය සහ අනෙකුත් හැඟීම් වල අවුල් සහගත සුසංයෝජනයක් බව දැනුවත්ව ජීවත් වීම වඩා නිහතමානී දිවියකට මඟ පාදන බව සාවද්‍ය නො වේ. නිතර දෙවේලේ නැට්ට පාගාගෙන දුවන ලෝකයක සුවපහසු ලෙස ජීවත් වීමට මඟ එය යි. මානව මනෝ සංවර්ධනය උදෙසා මේ දෙන පණිවිඩ කෙතරම් අගනේ ද? BTS අප ආදර්ශයක් කර ගත යුත්තේ මේ නිසා ය. හුදු රූමත් මුහුණු වලින් ඔබ්බට ගිය ඉතා වෙහෙස වී වැඩ කරන, උගත් තරුණ පිරිසක් ලෙස ඔවුන්ට අපේ ගෞරවය හිමි විය යුත්තේ ගරු කළ යුත්තන්ට ගරු කළ යුතු බැවිනි.
References
Lyu, P. (2024). The Multifaceted Impact of BTS: Driving South Korea’s Economy, Soft Power, and Cultural Exchange. Transactions on Social Science Education and Humanities Research, 11(2960-1770), 1–6. https://doi.org/10.62051/kky84t23
Team One. (2023, April 25). The Legacy Lab Releases the Inaugural Legacy Makers 100. GlobeNewswire News Room; GlobeNewswire. https://www.globenewswire.com/newsrelease/2023/04/25/2654358/0/en/The-Legacy-Lab-Releases-the-Inaugural-Legacy-Makers100.htm
සංදීප්තා අයිලප්පෙරුම

