2025 මැයි පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය (ජාජබ) පළාත් පාලන ආයතන 339 න් 265 ක නාමික බහුතරයක් ලබා ගත් අතර, සාමාජිකයින් 3926 ක් තෝරා පත් කර ගත්තේය. සන්ධාන ගොඩනඟා නොගෙන ම පළාත් පාලන ආයතන 150 කට වැඩි ගණනක තම පක්ෂයේ නායකත්වය යටතේ පළාත් පාලන ආයතන පිහිටුවීමටත් අනෙක් බොහෝ සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනීමටත් මෙයින් ජජාබයට හැකි වෙයි. ඔවුන් ජාතික මට්ටමින් ලැබූ 43% ක ඡන්ද ප්‍රතිශතය 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා 20% ක අඩුවීමක් වන නමුත් ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා කිට්ටු අගයකි. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) ඡන්දවලින් 21% ක් ලබා ගත් අතර, එය ජජාබයේ ඡන්දවලින් හරි අඩකටත් අඩුය. තෙවන වැඩිම ඡන්ද ලබා ගත් පොදුජන පෙරමුණ (පොපෙ) 9% ක් ඡන්ද ලබා ගැනීම සැලකිය යුතු වර්ධනයකි.
පැවති පළාත් පාලන ඡන්ද විමසීම පසුබිමේ සිදු වූ දේශපාලන කතිකාව විමසා බැලූ විට ‘හොරුන්ට එරෙහිව බොරුකාරයන්’ යන නව අක්ෂය ඔස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනය යළි පෙළගැසීම සනිටුහන් කරයි. 2024 ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ අතරතුර, ජාජබය විසින් එතෙක් පාලනයේ සිටි පක්ෂ ‘චෞර වළල්ලක්’ ලෙස අර්ථාරෝපණය කරන ලදී. එම බෙදුම් රේඛාව හේතුවෙන් මෙම පැරණි ප්‍රධාන ධාරාවේ පක්ෂ වන එජාපය, පොපෙ, සජබය, සහ ශ්‍රී ලංකා නිදහස් පක්ශය (ශ්‍රීලනිපය) අතර පැවති සහ පවතින දෘෂ්ටිවාදාත්මක වෙනස්කම් බොඳ කර, ඒවා යල් පැන ගිය ඒවා බවට පත් කළේය. මෙම නව බෙදුම් රේඛාව කොතරම් ප්‍රබල වූයේද යත්, දෙමළ සහ මුස්ලිම් පක්ෂ පවා ඒ හමුවේ පසු බා සිටියේය.
එසේ ස්ථාපිත පක්ෂවලට එරෙහිව ජාජබය2024 දී එල්ල කළ ප්‍රහාරයට මුහුණ දීමට හැකි වාග් ආකෘතියක් ඔවුනට එදා නොතිබුණු නමුත් මැයි මාසයේ පැවති පළාත් පාලන ඡන්දි විමසීම වන විට එම පක්ෂ තමන් හොරුය යන ආමන්ත්‍රණයට ප්‍රතිචාර දැක්විය හැකි පරිදි මෙම නව ධ්‍රැවීකරණ අක්ෂයේ අනෙක් කෙළවර ගොඩනගා ගන්නා ආකාරය දකින්නට ලැබිණි. ජාතික ජන බලවේගය විසින් ලබා දුන් විශාල පොරොන්දු සහ ඒවා ඉටුකිරීම අතර පරතරය උපයෝගී කරගනිමින්, ජාජබය යනු සම්පූර්ණයෙන්ම බොරු සහ ප්‍රබන්ධ මත පදනම් වූ ව්‍යාපාරයක් ලෙස නව රාමුවකින් එය ඇමතීමට විපක්ෂ බලවේග සමත් විය.
ජාජබයට ලැබුණු ප්‍රතිඵලය ඉතා ස්ථාවර ජයග්‍රහණයක් වුවත් එය ඔවුන් ද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු වී තිබේ. මෙම ඡන්ද ප්‍රතිඵලය විසින් ආණ්ඩුව එහි නිසි ප්‍රමාණයට කප්පාදු කර තිබේ. සමාජ මාධ්‍ය මගින් මෙහෙයවන ලද ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජජාබයේ පාලනයේ පළමු මාස හය තුළ ඔවුන් සිදු කළ එක් දෙයක් නම්, සමාජ මාධ්‍යවල උද්යෝගයක් ලැබුණු ගැටළු වලට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමයි. එසේ ප්‍රවෘත්ති චක්‍රය අනුව ආණ්ඩුකරණය පළාත් පාලන ඡන්දයේදී ජනතාව විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව පෙනේ.
ජාජබය පසුපාදයට තල්ලු කරන ලද මෙම ජනවරම මගින් පෙන්නුම් කරන තව දෙයක් නම්, මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට ගතවන කාලය කෙරෙහි දිනෙන් දින වැඩෙන ඡන්දදායකයින්ගේ නොඉවසිලිමත්කමයි. ජාජබයේ දූෂණ විරෝධී කතිකාව කියා සිටියේ, දූෂණ විරෝධය මගින් රටේ ව්‍යුහාත්මක දේශපාලන හා ආර්ථික අභියෝගවලට ඇති සරල විසඳුම එය බවයි. මෙවැනි අති-සරලකරණ කතිකාවන් මඟින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේහයේ ඇති සංකීරණතා මග හැරයයි.
බලයට පත්වීමෙන් පසු, ජාජබය බොහෝ දුරට එතෙක් පැවති එජාප-පොපෙ ආණ්ඩුවේ ආර්ථික වැඩසටහන අනුගමනය කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ඉලක්ක සපුරාලීමට නොවහලා කටයුතු කරමින් සිටී. පෙබරවාරි මාසයේ ඉදිරිපත් කළ අයවැය මඟින් බදු කප්පාදු, වැටුප් වැඩිවීම් සහ සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වන වියදම් වැඩි කිරීම වැනි සමහර මැතිවරණ පොරොන්දු ඉටු කිරිමට කටයුතු කෙරුණ ද, එය ජාජබව විසින් ජනතාව තුඝ දල්වා ලූ ඉහළ අපේක්ෂාවන්ට වඩා අඩු විය. මේ වසරේ ආර්ථික වර්ධන වේගය 5% සිට 3.5% දක්වා පහත වැටීම, රාජ්‍ය වියදම්වල නම්‍යශීලීභාවය තවදුරටත් සීමා කරයි.
ජාජබය ඇඟවූ ආකාරයේ ඩිජිටල් විප්ලවයක්, ඛනිජ සම්පත්වලට වටිනාකම් එකතු කිරීමක් හෝ ඩයස්පෝරා ආයෝජන වැඩිවීමක් හෝ ‘ආශ්චර්යාත්මක’ ව්‍යාපෘති ආරම්භ කොට නැති වීම හේතුවෙන් මෙකී අපේක්ෂා පරතරය තවදුරටත් තියුණු වේ. ව්‍යුහාත්මක ගැටළු සඳහා ඉක්මන් විසඳුම් නොමැතිව, රජය දැන් පැවති දේශපාලන සංස්ථාවේම පිළිබිඹුවක් වෙමින් පවතිත තත්ත්වයක් තුළ පසුගිය වසරේ මැතිවරණ සමායේ තම ආඛ්‍යානයට තිබූ දීප්තිය ගිලිහෙන අයුරු දකිමින් සිටී.
දේශපාලන ධ්‍රැවීකරණයේ අක්ෂ මාරු වීම
2024 මැතිවරණ සමයේදී, ජාජබයෙන් එල්ල වූ වාග් ප්‍රහාරය හමුවේ, දැන් විපක්ෂයේ සිටින පක්ෂවලට කර කියා ගත හැකි දෙයක් නොවීය. ජනතා මතය ඔවුනට එරෙහිව තිබීම සහ ඔවුන් අතර දිගුකාලීනව පැවති අභ්‍යන්තර බෙදීම් හේතුවෙන් ශක්තිමත් සහ ඒකාබද්ධ ප්‍රති-ආඛ්‍යානයකින් ජාජබයට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට නොහැකි විය. මෙයට එක් හේතුවක් වූයේ, දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය 2022 ආර්ථික අර්බුදයට හේතු වූ බවත් අරගලය ඇතුල ජනතා විරෝධතාවල ප්‍රධාන සටන් පාඨය ලෙස දූෂණ විරෝධීත්වය මතුවී තිබීමත්ය. පාලක පැලැන්තියට එරෙහිව පැවති මෙම සටන් පාඨය එහි ජාජබය සිය ජනප්‍රියත්වය සඳහා ඉතා සහුරු ලෙස බලමුලු ගැන්වීය.
කෙසේ වෙතත්, 2025 මැයි පළාත් පාලන ඡන්ද විමසීමට පෙරාතුව, මෙම විපක්ෂ දේශපාලන කඳවුරුවලට ජාජ ආණ්ඩුව ‘බොරුකාරයන්’ සහ ‘ප්‍රෝඩාකාරයන්’ ලෙස හැඳින්වීමේ පොදු ප්‍රචාරක ආඛ්‍යානයක් ගොඩ නගා ගැනීමට හැකි විය. මෙම ආඛ්‍යානය ජාජබයට එරෙහිව පෙරමුණු දෙකකින් පහර දීමට භාවිතා කරන ලදී.
පළමුව, ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ දූෂිත හා විනාශකාරී ලෙස නිරූපණය කිරීම වැරදි බවත්, රට ‘වසර 74 ක ශාපයකට’ ලක්ව තිබේ යන්න බොරුවක් බවත් ඔවුන් ප්‍රකාශ කළෝය. ශ්‍රී ලංකාවේ පසුගිය රජයන් යම් ජයග්‍රහණ ලබා ඇති බවත් ජාජබය කී පරිදි පරිදි ශ්‍රී ලංකාව සම්පූර්ණ වශයෙන් අසාර්ථක රටක් නොවන බවත් පෙන්වා දීම එක් අතකින් සිදු විය. දෙවනුව, තම දේශපාලන පාරිශුද්ධත්වය සහ ඉහළ සදාචාරාත්මක මට්ටම පිළිබඳ ජාජබයේ වාගාලාපයන්ට එදිරිව ඔවුන්ගේ ආණ්ඩුව අද කරන දේ සහ එදා කී දේ අතර වෙනස්කම් පෙන්වා දෙනු ලැබිණි. උදාහරණයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර සඳහා පදනම සපයන ණය තිරසාරත්ව විශ්ලේෂණය (DSA) වෙනුවෙ විකල්ප විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව මැතිවරණ සමයේදී පොරොන්දු විය. කෙසේ වෙතත්, රජය මාස හතකට පෙර බලයට පත් වූ දා සිට මේ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැත. ආණ්ඩුවේ ප්‍රධාන මන්ත්‍රීවරුන්ගේ ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම්වල සිට බදු කප්පාදුව හරහා කඩිනම් ආර්ථික සහන පිළිබඳ ජනතාවාදී පොරොන්දු දක්වා, ජාජබයේ සදාචාරාත්මක පාරිශුද්ධත්වය පරීක්ෂාවට ලක් වී ඇත.
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව, 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ විසින් යුද ජයග්‍රහණයෙන් පසු ඔහු විසින් ඉතා ශුර ලෙස වර නැංවූ දේශපාලන ධ්‍රැවීකරණ අක්ෂය වන ‘දේශප්‍රේමීන්ට එදිරව දේශද්‍රෝහීන්’ යන්න එදා සිට 2024 දක්වා දේශපාලනය හැඩ ගැන්වීය. ජාජබය විසින් හඳුන්වා දුන් දූෂණ විරෝධී කතිකාව ඔස්සේ, ‘බොරුකාරයන් එදිරිව සොරුන්’ යන අක්ෂය ගොඩ නැගී තිබේ. දේශප්‍රේමීත්ව මගින් සනිටුහන් වූ පෙර යුගුය තුළ සිංහල-බෞද්ධ ජාතිකත්වයට පක්ෂව, විධායක ශාඛාව තුළ බලය කේන්ද්‍රගත කිරීමේ යුගයක් සහ දූෂණ-ඥාති සංග්‍රහය පිළිබඳ චෝදනාවලින් ද සලකුණු වූ යුගයක් ආරම්භ විණි. මැතිවරණමය වශයෙන්, ජනවාර්ගික රේඛා ඔස්සේ මැතිවරණ බෙදී ගිය අතර, රාජපක්ෂ මැතිවරණ යාන්ත්‍රණය බහුතර සිංහල ඡන්දදායකයින්ගේ ඡන්දය මත රඳා පැවතුන අතර, විරුද්ධ පක්ෂවල ක්‍රමෝපාය වූයේ සිංහල ඡන්දදායකයින් තුළ යම් ප්‍රමාණවත් ජනප්‍රියභාවයක් පවත්වා ගනිමින් වාර්ගික සුළුතර කණ්ඩායම් අතර අතිමහත් ජනප්‍රියතාවය දිනා ගැනීමයි. 2010, 2015 සහ 2019 ජනාධිපතිවරණවල මැතිවරණ සිතියම් මෙම ධ්‍රැවීකරණය පෙන්නුම් කරයි.
සන්ධානගත වෙනවද නැද්ද?
මැයි මාසයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හේතු කිහිපයක් නිසා සැලකිය යුතු හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. පළමුව, බොහෝ පළාත් පාලන ආයතනවල සම්පූර්ණ බහුතරයක් ලබා ගැනීමට ජාජබයට නොහැකි වීම නිසා, ආයතනවල බලය තහවුරු කර ගැනීමට නම් වෙනත් පක්ෂ හෝ සභිකයන් සමඟ සන්ධානගත වීමට සිදු වෙයි. මෙම සන්දර්භය තුළ, ජාජබය ස්වාධීන කණ්ඩායම් සමඟ පමණක් සන්ධානගත වන බව ප්‍රකාශ කර ඇත. දූෂිත හා දූෂිත නොවන යන බෙදුම් රේඛාව ඔස්සේ දේශපාලනය ඉදිරියට ගනෙ යාමට ජාජබයට ඇති ඉඩ සීමිත බව මෙයින් පෙනේ.
කෙසේ වෙතත්, බොරු පිළිබඳ ඒකාබද්ධ ආඛ්‍යානය රජයට එරෙහිව සන්ධාන පිහිටුවීම දක්වා පරිවර්තනය වී නොමැත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මැතිවරණ යනු පැමිණෙන රජය කෙරෙහි විශ්වාසයකින් ම නොව, පවතින ආණ්ඩුවලට විරෝධී හැඟීම් මගින් මෙහෙයවනු ලැබීමයි. පවතින ‘පාලන ආඛ්‍යානය’ ඉවත් කිරීමෙන් සහ නව ආඛ්‍යානයක් අත්හදා බැලීමට ඇති ආශාවෙන් ආණ්ඩු තේරී පත් වී ඇත්තේ එබැවිනි. මේ අර්ථයෙන් ගත් කල, 2015 දී සිරිසේන-වික්‍රමසිංහ රජය තේරී පත්වීම යහපාලන විකල්පයක් පරීක්ෂා කිරීම සඳහා එතෙක් පැවති ආරක්ෂකවාදී සහ පවුල්වාදී රීතිය ප්‍රතික්ෂේප කිරීමකි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ මැතිවරණය ජයග්‍රහණය ‘අධිකාරීවාදී තාක්‍ෂණවාදයේ’ ආඛ්‍යානය සමඟ අත්හදා බැලීමක් වූවාටත් වඩා යහපාලන ආණඩුව ප්‍රතික්ෂේප කිරීමකි. 2024 ජනාධිපතිවරණය දූෂණ විරෝධී ආඛ්‍යානය මත පැරණි ක්‍රමය ඉවත් කෙරිණි. මේ වන විට ජාතික ජන බලවේගය ඔවුන්ගේ ආඛ්‍යානය නඩත්තු කිරීමේ අර්බුදයට මුහුණ දී සිටී. කෙසේ වෙතත්, ප්‍රධාන විපක්ෂ කඳවුරුවලට, තනි තනිව හෝ සාමූහිකව, මෙතෙක් ඡන්දදායකයින්ට ආකර්ශනීය විකල්ප ආඛ්‍යානයක් ලබා දීමට නොහැකි වී තිබේ.
බෙහෙවින් බෙදී ගිය විපක්ෂයක විශාලතම දේශපාලන පක්ෂය ලෙස, සජබය දැන් උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. අනාගත ජාතික මැතිවරණයකදී තනිවම රජයක් පිහිටුවීමට එහි 21%ක ඡන්ද ප්‍රතිශතය ප්‍රමාණවත් නොවේ. මෙම සන්දර්භය තුළ, සජබය උපායමාර්ගික විකල්ප දෙකක් කිරා මැන බලනු ඇත. පළමුව, විපක්ෂයේ වෙනත් කණ්ඩායම් දුර්වල කිරීමෙන් හෝ විතැන් කිරීමෙන් තම නායකත්වය තහවුරු කර ගැනීම එකකි. නැතහොත් විපක්ෂයේ බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල පාලනය රජයට අත් වීම වැළැක්වීම සඳහා පුළුල්ම සන්ධානයක් ගොඩනැගීම දෙවැන්නයි. සජබය අනෙකුත් විපක්ෂ පක්ෂ සමඟ සන්ධාන පිහිටුවීම ‘හොරු එක මිටට’ යන ජාජබයේ භේදකාරී ආඛ්‍යානය ශක්තිමත් කරනු ඇත. 2022-2024 කාලය තුළ පොදු පෙරමුණ සහ එජාපය ඒකාබද්ධව කටුයුතු කිරිමෙන් දෙපාර්ශවයටම අත් වුණ ඉරණම ඔවුන් නිරීක්ෂණය කර ඇති බව පෙනේ.
රාජපක්ෂ පුණරාගමනය?
මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දවලින් 10% කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීම සැලකිය යුතු වර්ධනයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නැගිටීම ජාතික ජන බලවේගයට අනාගත තර්ජනයක් ලෙස සලකනු ලැබුවද, දේශපාලන පෙරමුණක් ලෙස නැගී සිටීමේදී පොදුජන පෙරමුණ තවමත් දුෂ්කර තත්ත්වයක සිටී.
පළමුව, පොදුජන පෙරමුණ සහ ජාජබය ‘වාමාංශයට නැඹුරු’ පක්ෂ ලෙස සලකනු ලැබීම හේතුවෙන් පක්ෂ දෙකේම මුහුණුවර මෙන්ම ඡන්ද පදනම් ද කිට්ටුය. 2022 දේශපාලන බිඳවැටීමෙන් පසුව, පොපෙහි ඡන්ද පදනමෙන් වැඩි ප්‍රමාණයක් දැනටමත් ජාජබය දෙසට ගමන් කර ඇති අතර, ඔවුන්ගේ දේශපාලන ආකල්ප සහ මනාපයන් එතරම් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩක් නැත. 2010 ජනාධිපතිවරණයේදී දක්නට ලැබුණු පරිදි, රාජපක්ෂ පාලනයේ උච්චතම අවස්ථාවෙන් පසුව, සිංහල බෞද්ධ ඡන්දදායකයින්ගේ මූලික කණ්ඩායමක් එජාපය වෙතින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සංක්‍රමණය වීමට සමාන රටාවක් මෙහිදී දක්නට හැකිය.
දෙවනුව, ජනප්‍රිය පරිකල්පනය ග්‍රහණය කර ගන්නා නව ආඛ්‍යානයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව නොමැත. පසුගිය වසර පුරා ජාතික ජන බලවේගය යනු සිංහල බෞද්ධ විරෝධී සහ ආගම්වලට විරෝධී (එහි මාක්ස්වාදී දෘෂ්ටිවාදයේ කොටසක් ලෙස) බලවේගයක් යැයි පෙන්වා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත නැවතත් කළ උත්සාහයන් සාර්ථක වී නැත. නිදසුනක් වශයෙන්, 1989 දී දළදා මාලිගාවට එල්ල වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නැවත නැවත මතක් කර දෙමින්, ජාතික ජන බලවේග රජය සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ නැති බවත් උතුරු නැගෙනහිර එල්ටීටීඊ බෙදුම්වාදය නැවත ඇති කිරීමට සහාය දක්වන බවත් චෝදනා කරයි. කෙසේ වෙතත්, සිංහල බෞද්ධ ඡන්ද පදනමට සංකේතාත්මක ඉඟි පෑමට ආණ්ඩුව ක්‍රියා කළේය. බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සහ සංහිඳියාව සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන්ට නඩු පවරන්නේ නැතිව සිටීම ආදී ක්‍රියාවන් ඊට සානුබල සපයයි. ජාතික ජන බලවේගය අඩපණ කිරීමට සමත් ආඛ්‍යානයක් පොදුජන පෙරමුණ තවමත් සොයාගෙන නොමැත.
ජාතික දේශපාලන අවකාශය යළි බිඳී යාම
පසුගිය වසරේ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ලද ජයග්‍රහණයේ වැදගත්කම වූයේ සිංහල බෞද්ධ ඡන්දදායකයින් සහ වාර්ගික සුළුතරයන් යන දෙපිරිසටම සාර්ථකව ආකර්ශනය කර ගැනීමයි. මෙයට සමාන මැතිවරණ සිතියමක් තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජය ලැබූ1994 ජනාධිපතිවරණයේදීය. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ඊටත් වඩා කැපී පෙනුනේ එය දෙමළ අනන්‍යතාවය පදනම් කරගත් දේශපාලන පක්ෂ සැලකිය යුතු ලෙස විස්ථාපනය කර, පුනරුදයේ පුළුල් ආඛ්‍යානයක් යටතේ එක්සත් වූ ජාතික දේශපාලන අවකාශයක් ලෙස හැඳින්විය හැකි දෙයක් නිර්මාණය කළ බැවිනි. ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක ආඛ්‍යානය වාර්ගික බෙදීම පිළිබඳ ආඛ්‍යානය පටු පන්ති පාදක ආඛ්‍යානයක මගින් ප්‍රතිස්ථාපනය කළ අතර, එහිදී ‘ඇති අය’ සහ ‘නැති අය’ ‘දේශපාලනිකව දූෂිත’ සහ ‘දූෂිත නොවන’ ලෙස රාමු කරන ලදී.
ජාතික ජන බලවේගය මැයි මාසයේ පළාත් පාලන ඡන්දයට පැමිණියේ සිය ‘සිස්ටම් චේන්ජ්’ බල ව්‍යාපෘතියේ වැදගත් අදියරක් සම්පූර්ණ කිරීමටය. එහෙත් ලැබූ පසුබෑම හමුවේ, රජයේ ප්‍රධාන කතිකයන් විසින් එය හුදෙක් ගමේ ඡන්දයක් ලෙස අර්ථකථනය කළද, ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය සිදු කළේ ජනාධිපතිවරයා ඍජුව දිස්ත්‍රික්ක පුරා වේදිකා මත ගොඩ වෙමිනි. මධ්‍යම ආණ්ඩුවෙන් වේගවත් අනුමැතියක් ලැබෙනුයේ ජාජබය යටතේ ඇති පළාත් පාලන ආයතනවලට පමණකැයි පොරොන්දු වීමෙන් ජනාධිපතිවරයා වත්මන් රජයට පළාත් පාලන මැතිවරණයේ දේශපාලන වැදගත්කම පෙන්වා දුන්නේය.
උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ පසුගිය මැතිවරණවලදී ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ හමුවේ යළි පරාජයට පත් වූ බවයි. පළාත් පාලන ආයතන 35 ක පෙරමුණ ගත් තමිල් අරුස කච්චි පක්ෂය විශාලතම ජයග්‍රාහකයා වූ අතර, එය ‘අනුර රැල්ල’ ආපසු හැරවූ බව කියා සිටියේය. උතුරු නැගෙනහිර ජයග්‍රහණයන්ගෙන් පසු දෙමළ ජාතිකවාදය පිළිබඳ ජයග්‍රාහී ප්‍රකාශය දෙමළ ජාතිකවාදයේ මෑත කාලීන යළි පිබිදීම පෙන්නුම් කරයි. මේ අතර, උතුරුකරයේ පැහැදිලි පරාජිතයින් වන්නේ ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) වැනි දකුණේ ආණ්ඩු සමඟ කලින් කල සන්ධාන ගත වූ දෙමළ දේශපාලන පක්ෂ ය.
මේ අතර, ප්‍රධාන මුස්ලිම් දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සජබ හෝ එජාප වැනි පුළුල් සන්ධානයක කොටසක් ලෙස නොව, තනිවම තරඟ කිරීමට වැඩි කැමැත්තක් පෙන්නුම් කරයි. ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිඵල මධ්‍යස්ථව පවතින අතර, මුස්ලිම් ජනයා අතර ජාජබයේ සාර්ථකත්වය විශාල ලෙස පලුදු වී නැති බව පෙනේ. කඳුරට දෙමළ ජනතාව සංඛ්‍යාත්මකව ආධිපත්‍යය දරන මැතිවරණ කොට්ඨාශවල, දේශපාලන අවකාශය ද ඛණ්ඩනය වී ඇත. මෙම ඡන්ද කොට්ඨාශවල ප්‍රතිඵලවන පවතින බෙදීම්, එක් අතකින් ජාජබය විසින් සියල්ල ඒකරාශී කිරීමේ සීමාවන් හෙළි කරයි. අනෙක් අතට, උතුරේ සහ නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ ඔවුන්ගේ දෘෂ්ටිවාදාත්මක ස්ථාවරයේ ශක්තිය නැවත තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. උතුරේ දෙමළ පක්ෂවල මැතිවරණ ජය අනුග්‍රාහක දේශපාලනයට නැවත පැමිණීමක් ලෙස ජජාබය විසින් කියවීමෙන් පිළිබිඹු වන්නේ මෙම ප්‍රදේශවල ඡන්දදායකයින්ගේ මැතිවරණ සංවේදීතාවන් පිළිබඳ දුර්වල අවබෝධයකි.
නව බෙදුම් රේඛා ඔස්සේ කොයිබටද?
ජනප්‍රිය රැල්ලකින් බලයට පත් වූ ජාතික ජන බලවේගයේ වේගය, ඒ සඳහා වැපිරූ ඉහළ අපේක්ෂාවන් සපුරාලීමේ අභියෝග හමුවේ මන්දගාමී වන බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යයි. ‘74ක වසරක දූෂණය’ යන අක්ෂය ඔස්සේ ශ්‍රී ලංකා දේශපාලනය නැවත ධ්‍රැවීකරණය කිරීමට ජජාබය සමත් විය. ‘බොරු සහ ප්‍රෝඩාව’ ලෙස එම අක්ෂයේ අනෙක් කොණ අර්ථ දැක්වීම විපක්ෂ කණ්ඩායම් විසින් ඉටු කරමින් පවතී. මෙකී කොන් දෙකම විවිධාකාරයෙන් අතිශයෝක්තියෙන් පිරී තිබුණ ද, තම විරුද්ධවාදීන් ‘සොරුන්’ ලෙස පාලනයට නුසුදුසු ලෙස හංවඩු ගැසීමට ජාතික ජන බලවේගය දරන උත්සාහයට ප්‍රතිපක්ෂව විපක්ෂයේ විසින් අවධාරණය කරන්නේ, මහජන සුභසාධනය සහ දූෂණ විරෝධී කටයුතු ඉටු කිරීමේදී රජයේ දුර්වලතා සහ ප්‍රමාදයන් ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ සාක්ෂියක් ලෙස ය.
පළාත් පාලන මැතිවරණයෙන් පසු රජයේ ‘මධුසම කාලය’ අවසන් වී තිබේ. මෙය හොඳින්ම පෙනෙනුයේ, ආණ්ඩුවට වගකීමක් හෝ යම් ප්‍රතික්‍රියකට මුහුණ දීමට සිදු වන විට එහි නායකයන්ගේ දේශපාලන පෞරුෂය විවේචනය කිරීම සඳහා ‘උද්ධච්ච’ යන යෙදුම වැඩි වැඩියෙන් භාවිතා වීම මඟිනි. එය ජාජබය ‘ප්‍රභූ’ තත්වයක් ආරෝපණය කර ගැනීමට උත්සාහ කිරීම කෙරෙහි එල්ල වන පුලුල් මහජන ප්‍රතිරෝධයකි. තමන් බිම් මට්ට්ම තේරෙන ‘ජනතා රජයක්’ ලෙස දේශපාලනයක් ගොඩ නැංවීමෙන් පසු, වඩාත් දුරස්ථ, ප්‍රභූ පෞරුෂයක් අත්පත් කර ගැනීමට දරන ඕනෑම උත්සාහයක් එහි ආධාරකරුවන් සහ විචාරකයින් විසින් අභියෝගයට ලක්වීමක් මෙහි දකින්නට ලැබේ.
පැහැදිලි ආඛ්‍යානයක් නොමැති පසුබිමක, රජය දේශපාලනයෙන් සහ ජනතාවගෙන් යම් දුරක් පවත්වා ගැනීමට ජාතික ජන බලවේගය දරන ප්‍රයත්නය මෙහි විද්‍යමාන වෙයි. ඛණ්ඩනය වූ විපක්ෂයකට ජාතික ජන බලවේගය යනු ‘බොරු’ කියන පක්ෂයක් යැයි කීමට එහා දෙයකට එකඟ වීමට නොහැකිව ඇත. ඒකාබද්ධ කොට සකස් කිරීමට වඩා පොදු පදනමක් හෝ සම්මුතියක් නොමැත. දශක හතකට වැඩි කාලයක් ශ්‍රී ලංකා දේශපාලනය පැවතුණේ කෙළවර දෙකක සටනක් ලෙස නම්, දැන් රට එයින් විතැන් වීමක් සනිටුහන් කරන අතර, පක්ෂ ක්‍රමය එක් විශාල පක්ෂයක් සහ අර්ධ පක්ෂ ගණනාවක් ලෙස බෙදී ගොස් තිබේ.
හරින්ද්‍ර බී දසනායක සහ රජ්නි ගමගේ
මෙම ලිපිය 2025 මැය් 20 පොලිට් වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක සංස්කාරිත පරිවර්තනයකි. මෙම පරිවර්තනය පළ වූයේ අනිද්දා පුවත්පතේය, 2025 මැය් 31 වෙනිදා.
පින්තූර ප්‍රකාශන හිමිකම © කර්තෘවරු