පසුගිය වසරේ මැතිවරණවලට පෙර ජාජබ විරෝධී කඳවුර විසින් දියත් කරන්නට උත්සාහ කළ ‘රක්ත භීතිය’මේ වන විට පුස්සක් බවට වී ඇත. එහි පදනම වූයේ රතු ආණ්ඩුවක් යටතේ සියල්ල කඩා වැටෙනු ඇත කියාය. එහෙත්, මෑතක දී සිදු කළ අයි.එම්.එෆ් සමාලෝචනය, රජය විසින් ලබා ගෙන ඇති ප්‍රගතිය අගය කරමින්, 2022 සිට පැවති ක්‍රියා පිළිවෙතම ඉදිරියට ගෙන යාම පැසසුමට ලක් කර තිබේ. කෙසේ වෙතත්, සාර්ව-ආර්ථික මට්ට්මේ ලබා ඇති මෙම ස්ථාවරත්වය දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන සියයට 25ක් වන ජනතාවගේ ජීවන තත්ත්වයට කිසිදු සාධනීය වෙනසක් සිදු කර නැති තරම්ය. ජනතාවගේ එදිනෙදා ජීවන දුෂ්කරතා දර්ශකයක් ලෙස සැලකුවොත්, කෝවිඩ් වසංගතයට පෙර රජයේ රෝහල් හෝ සායන මගින් සපයන ලද සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා නිරතුරුව පෞද්ගලික ෆාමසියට යාමට සිදු වීම සැළකිය හැකිය. සමාජ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා අයවැයේ විවිධ පොරොන්දු තිබියදීත්, දරිද්‍රතාවය සහ බඩු මිල සාමාන්‍ය වැසියාගේ ජීවිතය අභියෝගයට ලක් කරයි. රාජ්‍ය වියදම් කප්පාදු කරන ලෙස වන අයි.එම්.එෆ්. කොන්දේසිවල බර වැඩිපුරම දැනෙන්නේ මෙම සුභසාධන අංශවල මිස ප්‍රතිසංස්කරණ පොරොන්දු වූ ශ්‍රී ලංකා ගුවන් සේවය හෝ ආරක්ෂක වියදම් වැනි මහජන මුදල් ගිල දමන අංශවල නොවේ.
මෙවන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද, මෙම ආණ්ඩුව තමා ලබා දුන් දූෂණ විරෝධී ජනවරමට නිසි ගෞරවය ලබා දෙනු ඇති බවට බොහෝ දෙනා තුළ ස්ථිර බලාපොරොත්තුවක් ඇති බව පෙනේ. සිය දූෂණ විරෝධී එළඹුම මඟින් ලබා දෙන දේශපාලන ස්ථාවරත්වයෙන් රජයට ප්‍රතිලාභ දෙකක් ලැබෙයි. පළමුව, දූෂණ විරෝධී ව්‍යාපාරය විසින් රජයට සදාචාරාත්මක වශයෙන් ඉහළ ස්ථානයක් ලබා දෙන අතර දෙවනුව, විපක්ෂය දේශපාලනික වශයෙන් දුර්වල කිරිමට එය වැදගත්ය. විශාල මාධ්‍ය ආවරණයක් සහිත අත්අඩංගුවට ගැනීම් වටා ආණඩුවට පක්ෂපාතිත්වය ද ගොඩ නැගෙයි. මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාර ලෙස, ජනාධිපති සිරිසේන හෝ පසුකාලීනව පොලිස් ඇමති ටිරාන් අලස් යටතේ මීට පෙර දියත් කරන ලද මුලපිරීම් හා සසඳන විට වර්තමාන ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලට ද වඩා වැඩි විශ්වසනීයත්වයක් ඇත. සියලු දුෂ්ටකම්වලට එරෙහිව සියලු පෙරමුණු වල සටන් කිරීම නිරූපණය කෙරෙන මෙකී ප්‍රවේශය දැඩිව මහජන දිනා ගත හැකි ව්‍යාපෘතීන් වේ.
මෙම මෙහෙයුම් සඳහා ඇති සුවිසල් මහජන සහයෝගය පිටුපස නිහඬ ගිවිසුමක් තිබේ. එනම්, දූෂණය හේතුවෙන් අහිමි වන සම්පත් නැවතෙනු ඇති බවත් එය පෙරළා සාමාන්‍ය ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා හරවා යැවෙනු ඇති බවත්ය. මෙකී රාජ්‍ය පාරිශුද්ධකරණය හේතුවෙන් පෙර කී දරිද්‍රතාවේ පතුළේ සහ යන්තම් තම දිවිය ගැට ගසා ගන්නා බහුතරයක් වූ පහළ මධ්‍යම පාන්තික ජනතාවට වඩාත් යහපත් ජීවිතයක් ලැබෙනු ඇති බවයි. යුද්ධය නිම වීමෙන් යහපත් ජීවිතයක් ලැබෙනු ඇතැයි ජනතා අපේෂා දැලුවුණු පරිදි ම දූෂණ විරෝධය සහය දැක්වීමේ ද අවසන් අපේක්ෂාව වනුයේ ජනතාවට වඩාත් යහපත් ජීවන මට්ටමක් ලඟා කර ගත හැකි වනු ඇති බවයි. එහෙත්, දූෂණ විරෝධී ව්‍යාපාරයක් මෙහෙයවීම ආණ්ඩුවකට දුෂ්කර කාර්යයකි. අනෙක් අතට, එය කෙසේ ක්‍රියාත්මක වුව ද, දූෂණයට එරෙහි සහාය මඟින් ජනතාව අපේක්ෂා කළ “දූෂණ විරෝධයේ ලාභාංශය” තමන්ට නොලැබෙන බව පෙනී ගියහොත් ඒ සඳහා පවතින ජනතා ප්‍රසාදය ඇල් මැරුණු ස්වභාවයක් ගත හැකිය. එවැනි පරිවර්තනයක්, එනම් සිය ජනප්‍රියත්වයේ පහත වැටීමක් හමුවේ, ආණ්ඩුව තමන් දැඩි සහ මර්ධනකාරී ලෙස දුෂණ විරෝධී ව්‍යාපාරය තවදුරටත් උත්සන්න කළ යුතු බවට ලකුණක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ. මෙහි ඇතැම් පැතිකඩ දැනටමත් නිරාවරණය වෙමින් තිබේ. නීතිමය ගැටලුවලට පැටලැවෙනු ඇතැයි බියෙන්, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවා නිලධාරීන් විධායක තීරණ ගැනීමට මැලි වන බවට ඇති වාර්තා මඟින් හෙළි වන්නේ එයයි. දේශපාලන අක්‍රමිකතාවන්වන්ගේ වගකීම ඔවුන් මත පැටවීමට යම් උපාය මාර්ගයක් පවතින බව ද ඔවුන්ගේ හැඟීමයි. අධිකරණ පද්ධිතිය තුළ සිදු කෙරෙන පත් කිරීම් සහ මාරු කිරීම්, පොලිස් කොමිසම සම්බන්ධ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ආදිය මේ තැති ගැන්ම තීව්‍ර කරයි. විධායක ශ්‍රේණි තුළ ඇති වන මෙම මන්දෝත්සාමී බව රාජ්‍යය අඩපණ කිරීමට විපක්ෂය යොදන උපාය මාර්ගයක් ලෙස රජය විසින් අර්ථකථනය කළ හැකි බව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනෙකුගේම කතා වලින් ඉඟි කෙරිණි. අනෙක් අතට, සිවිල් සේවය ආධිපත්‍යය දැරීමට සහ ඈත් කිරීමට දේශපාලන නායකයින් කලකිරීමට පත් කළ හැකිය. එවන් මත වෙනසක් ප්‍රතිඵලය ලෙස, රාජ්‍ය පරිපාල ශ්‍රේණි තවදුරටත් තමන්ට යටහත් කර ගත යුතු යැයි ආණ්ඩුව තීරණය කළහොත්, රාජ්‍ය යාන්ත්‍රණයේ ආකාර්යක්ෂමතාවට තුඩු දී පෙර කී දූෂණ විරෝධයේ ලාභාංශ වෙත ළඟා වීම තව දුරටත් දුෂ්කර විය හැකිය.
ජාජබයේ ද්වන්ධ පැවැත්ම: පිටස්තරයා මෙන් ම අධිකාරිය ලෙස
මෑකාලීන මහජන පරිමණ්ඩලයේ සිදුවම් විමසූ විට ආණඩුවේ පණිවිඩකරණයේ නැගී එන රටාවක් නිරීක්ෂණය කළ හැකිය. රජය විසන් තමන් දරණ මතයට එරෙහිව ඇති මහජන හඬ ඉවත දමනු ලබන්නේ බලය අහිමි වූ විපක්ෂයක සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ දේශපාලන ව්‍යාපෘති ලෙස ය. එවැනි විරුද්ධත්වයක්, විශේෂයෙන් සමාජ මාධ්‍යයේ ප්‍රබලව නැඟී එන විට හෝ එය මල්වතු අස්ගිරි හෝ කිතුණු ආදී ආගමික සංස්ථාපිතය ද සම්බන්ධ කර ගනිමින් ත්‍රීව වන විට, රජය තම ස්ථාවරය සම්බන්ධයෙන් නම්‍යශීලී වී එය වෙනස් කිරීමට පසුබට නොවේ. පාසල් දරුවන්ට ශාරීරික දඬුවම් තහනම් තීන්දුව සහ LGBT+ ප්‍රජාවන් සම්බන්ධ තීන්දු වැනි රජය මෑතකදී ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ සමහර ප්‍රගතිශීලී පියවර හකුළා ගැනීමට ආණ්ඩුව කටයුතු කළේ මේ අයුරිනි. මෑතදී සිදු කළ කතාවකදී, “මහජනතාව එකඟ නොවන නීති පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන” බවට ජනාධිපතිවරයා සහතික විය.
සිය ජනප්‍රියත්වය රඳවා ගැනීමට ඇති ආශාව මෙම රජයේ ස්ථාවර ලක්ෂණයක් වී ඇත. සමාජ මාධ්‍ය තුළ නැඟී එන සහ සතිපතා ප්‍රවෘත්ති චක්‍රවල වේගවත් වන පුවත්වලට ප්‍රතිචාර දක්වීමට උත්සුක වීම මෙහි ලක්ෂණයකි. සමාජයේ මෙතෙක් පැවති ප්‍රබලතම බෙදුම් රේඛාව වන ජනවාර්ගික-ආගමික ජාතිකවාදය වෙනුවට දූෂිත හා දූෂිත නොවන යන නව බෙදුම් රේඛාව ආදේශ කිරිමට ජාතික ජන බලවේගයේ දේශපාගන කතිකාව සමත් වී ඇතත්, එය ජනවාර්ගික ව්‍යුහයන් ඉඳුරා අඩපණ කර නැත. වාර්ගිකත්වය පදනම් කරගත් ගැටුම් ඇවිළවීමට විපක්ෂයේ වාර්ගිකවාදී කණ්ඩායම්වල උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නැති පසුබිමක් තුළ ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ඡන්දදායක පදනමට ආයාචනා කිරීම සඳහා ‘මෘදු’ බෞද්ධ ජාතිකවාදී රේඛාවකට අනුගත වීමයි. මහනුවර දළදා ප්‍රදර්ශනයේ සිට කැපි පෙනෙන මෙකී නැඹුරුව, ආගමික සහ ව්‍යාපාරික පැළැන්තිය ආදී සමාජීය ස්ථාපිතයන්ට (දැනට ඛණ්ඩනය වී ඇති පාර්ලිමේන්තුව තුළ සහ පිටත සිටින විපක්ෂය හැර) ඇතුළත් වීම පිණිස ජාජබය ගන්න ප්‍රයත්නයට නිදසුන් සපයයි. ජාතික ජන බලවේගය වේගයෙන් නව ‘දේශපාලන සංස්ථාපිතය’ බවට පත්වෙමින් සිටින බව එයින් පෙන්නුම් කෙරේ. මෙය පැහැදිලිව පෙනෙන්නට තිබුණත්, ජාජබය තව දුරටත් දේශපාලනය පිළිබඳව කතා කරන්නනේ දේශපාලන ක්‍රමයට පිටස්තරයෙකු ලෙස පෙනී සිටිමිනි.
ඡන්දදායකයාගේ ව්‍යාජ ප්‍රගතිශීලිත්වය කළමනාකරණය කිරීම
ආණ්ඩුවට මුහුණ දීමට සිදු වන ප්‍රධාන අභියෝගය පාර්ලිමේන්තුව තුළ සිටින විපක්ෂයෙන් පැමිණෙන බවක් නොපෙනේ. හිටපු ජනාධිපති වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් විට, රජය ‘ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයක්’ වෙන ගමන් කරන බවට චෝදනා කරන බැනරයක් යටතේ රැස් වූ මෙම විපක්ෂය, මෙටර ජනතා පරිකල්පනයෙන් විසන්ධි වීමේ තරම හෙළි කළේය. රැස්වීමේ සිටි එකිනෙකා සමඟ මෙතෙක් පොරබැදූ පිරිස එක් තැනක රැස් වී සිටි දර්ශන තලයෙන්ම සිය දේශපාලන ප්‍රතිරූපයන්ගේ දිරාපත්වීම සහ විපක්ෂයේ අසමගිය මූර්තිමත් කළහ. පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, විමල් වීරවංශ ආදීන් ජාතිකවාදී දේශපාලනයේ විවිධ වෙස් මුහුණු ජනගත කිරීමට උත්සාහ කරමින් සිටියද, සිංහල ජාතිකවාදී කඳවුර සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන පාලනය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මෙම විපක්ෂ කණ්ඩායම් සහ ජාතික ජන බලවේගය සිංහල බෞද්ධ නායකත්වයේ යෂ්ටිය තමන් සතු කර ගැනීමේ තරඟයක යෙදී සිටිති. එහෙත්, බහුතරවාදී ජාතිකවාදයේ ‘මෘදු’ සහ ‘දැඩි’ අනුවාද නොමැත, ඒවා වර්ණාවලියක් ලෙස පැතිර පවතින අතර, එහි සියලුම අනුවාද අවසානයේ දී ආධිපත්‍යවාදය වෙත ගමන් කරනු ඇත.
ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝගය නම්, සංක්‍රාන්තික ඡන්දදායක පදනමක ඉල්ලීම් සපුරාලීමයි. එහි පොදු ලක්ෂණය වන්නේ ඉහළ සමාජ සංචලතාවක් පිළිබඳ ඇති ‘ගොඩ යාමේ, අපේක්ෂාවයි. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ව්‍යාජ ප්‍රගතිශීලීන් වන අතර, ඇතිම් විට ප්‍රගතිශීලී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින නමුත් ඒ සමඟම ප්‍රතිගාමී ගතානුගතිකවාදයට ද සහාය දීමට මැළි නොවතෙි. මෙය චංචල ඡන්ද පදනමක් වන අතර, ආණඩුව තුනෙන් දෙකක ජනවරමක් සමඟ සම්පූර්ණයෙන්ම ඉදිරියට ගියත්, ජාජබය වීසින් පොරොන්දු වූ සමාජ සංචලතාවේ රළ පෙළ තම බෝට්ටු නංවාලන්නේ නැතිනම්, මෙකී ඡන්දදායකයා වෙනතක යා හැකිය.
විපක්ෂයේ විසම්මුතිය සහ ජාජබයේ මග හැර යාම
මේ අතර, විපක්ෂය වර්තමාන සමාජ කතිකාව සමඟ ඇති දුරස්ථභාවය වඩාත් හොඳින් දැකිය හැක්කේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රවේශය තුළ ය. විපක්ෂය ජාතික ප්‍රශ්නයේ දෘෂ්ටිකෝණයෙන්, එනම් බලය බෙදා ගැනීමේ ප්‍රශ්නය සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ දෘෂ්ටිකෝණයෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධ කිරීම දිගටම කරගෙන යයි. මේවා අනාගත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කුළුණු ලෙස පවතින බව සහ ඉතා වැදගත් ව්‍යවස්ථාමය ගැටලු බවට කිසිදු විවාදයක් නැත. ඒ වෙනුවට, ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ සංවාදයේ දී ජාජබය ගත්තේ වෙනත් මගකි. පශ්චාත් අරගල යුගයේ දී ජනප්‍රිය වූ වගවීම සහ ආර්ථික අයිතිවාසිකම් වටා කේන්ද්‍රගත වූ ප්‍රමුඛතා පිළිබඳ සිය කතිකාවේ මූලිකත්වයට ඔසවා තැබීමට ජාජබය කටයුතු කළේය. මෙකී අදහස් ජනප්‍රිය කතිකාව තුළ සංසරණය වූයේ, මැතිවරණ ප්‍රකාශන යනු නීත්‍යානුකූල බැඳීමක් සහිත ගිවිසුම් බවට පත් කිරීම, ජනතා මතයට පිටුපාන හෝ තම පක්ෂය මාරු කරන මන්ත්‍රීවරුන් නැවත කැඳවීම, සිය ඉලක්ක ළඟා විමට අපොහොසත් වූ ඇමතිවරුන් ඉවත් කිරීම, සහ පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩ නගා පාර්ලිමේන්තු බලය තුලනය කිරීම (මහජන කවුන්සිල) ආදී ජනප්‍රිය තේමාවන්ය. මේ සියල්ලෙහි සාරය නම්, ආණඩුව ජනතා වරමට වගකිව යුතු බවට පත් කිරීමයි. මෙම ඉල්ලීම්, ව්‍යවස්ථාමය වශයෙන් කෙතරම් සාර්ථක හෝ මනෝඥ දැයි ගැටලු පැවතිය ද, ඒවා පැන නැඟුනේ එවක පැවති සමාජ ගිවිසුමට ගරු කිරීමට දේශපාලන සංස්ථාපිතය කැපී පෙනෙන ලෙස අසමත් වීම හේතුවෙනි.
ජනප්‍රිය කතිකාව කෙසේ වුවද, විපක්ෂයේ ප්‍රධාන උපාය මාර්ගය වී ඇත්තේ දෙමළ සහ මුස්ලිම් පක්ෂ ඔවුන්ගේ සන්ධාන හවුල්කරුවන් ලෙස සහ ජනාධිපතිවරණයක දී තම පක්ෂයේ අපේක්ෂකයාට සුළුතර ඡන්ද ලබා දෙන වාහන ලෙස සැලකීමයි. ජාතික ජන බලවේගයේ ප්‍රවේශය මීට වෙනස්ය. දෙමළ ජතික පක්ෂවලට එරෙහිව ඒ්වායේ නිජබිම වන උතුරු සහ නැගෙනහිර පළාත්වලදී සෘජුවම මුහුණ දීමට ජාජබය කටයුතු කළේය. මෙමඟින්, ජාතික ප්‍රශ්නයට විසඳුම ලෙස දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය සාධයක් බව විශ්වාස කරමින් ගොඩ නැඟුණු කතිකාව සහ ප්‍රයත්නයන් වෙනත් තලයකට මාරු කීරීමට ඔවුන් සමත් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාවේ දිශානතිය වේගයෙන් වෙනස් කිරීමට ජාතික ජන බලවේගය සමත්ව ඇති පසුබිමක් තුළ, ඒ පිළිබඳ විපක්ෂයේ ආඛ්‍යානයට ප්‍රමාණවත් දේශපාලන අදාළත්වයක් තිබේද යන ප්‍රශ්නය මෙයින් මතු වෙයි. විපක්ෂය සමඟ ජනතාවගේ පවතින දුරස්ථභාවයේ සැබෑ ප්‍රතිලාභියා ජාජබ ආණ්ඩුවයි. බලය බෙදා ගැනීම සහ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් අවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය ද ඇතුළුව අර්ථවත් ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා දැඩි හඬක් සමාජයෙන් මතුව ඒම වළක්වා ගැනීම සඳහා ජාජබය මෙකී දුරස්ථභාවය භාවිත කරයි. බහුජන මතයට ප්‍රතිචාර දැක්වීමේ නාමයෙන්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පවතින දිගුකාලීන, නීත්‍යානුකූල ඉල්ලීම් මග හැරීමට ජාජබයට හැකිව ඇත්තේ එළෙසය.
ජනප්‍රියත්වය පසුපස හඹා යාම
ජාජබයේ බලයට පත් වීම ව්‍යාපාරික ප්‍රජාව තුළ මුලින් යම් හෝ තැති ගැන්මකට හේතු වූයේ නම්, එය දැන් සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව පෙනේ. ව්‍යාපාරික ප්‍රභූන් ජාජබ රජය යටතේ සිය වරප්‍රසාද ලත් තත්ත්වය පෙර පරිදිම භුක්ති විඳිනවා හෝ වඩාත් තහවුරු කර ගැනීමට සමත්ව ඇත. මෙහි එක් දර්ශකයක් වන්නේ ප්‍රධාන පෙළේ සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්, ඔවුන සිය පෞද්ගලික අංශය තුළ සේවය කරමින් සිටියදීම, රාජ්‍ය අංශයේ ඉහළ තනතුරුවලට පත් කිරීමයි. මේ පත්වීම් බොහෝ විට ජාතික මෙහෙවරක් ලෙස වැටුප් නොලබා කරන සේවයක් ලෙස සාධාරණීය කරන අතර, එවැනි පත්කිරිම්වලින් පැන නගින බරපතල ළබැඳියාවන් පිළිබඳ ගැටුම නොසලකා හරියි. මෙම පත්වීම් අතර ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආර්ථික උපදේශකයෙකු ලෙස මූල්‍ය උපදේශන සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙකු පත් කිරීම සහ එකම අංශයේ අභිලාධ ඇති පෞද්ගලික සමාගම්වල තනතුරු දරන නිලධාරීන් රජය සතු ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් පත් කිරීම ඇතුළත් වේ. ජාජබය නව දේශපාලන සංස්ථාපිතය බවට පත් වීමේදී, දැනට ස්ථාවරව ඇති ආර්ථික සංස්ථාපිතය සමඟ මෙම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වීම දකිය හැකි වනු ඇත. මෙය ජාජබ නායක කාරකාදීන් ධනපති පන්තිය වෙත සංචලනය වීමේ ක්‍රියාවලියේ නොවැළැක්විය හැකි අංගයක් බවට පත් වේ. වඩාත් අවධානය යොමු විය යුතු කරුණ නම් එවන් පසුබිමකදී, මැතිවරණ යනු බොහෝ විට ‘සුපර් ස්ටාර්’ වැඩසටහන්වල ආකෘතිය හිමි කර ගැනීමයි. තමන්ගේ පන්ති සීමාව තරණය කිරීමට ලැබෙන්නේ එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට පමණක් වුව ද සෑම කෙනෙකුම තම පන්තිය තරණය කිරීමේ සිහිනය එයින් ලබා දෙයි. ඒකපුද්ගල උත්තරාගමනය පෙරදැරි සමාජයක දී මෙය ඉතා ප්‍රබල සංකේතීය සංචලාතවක් පිලිබිඹු කරයි.
කෙසේ වෙතත්, ආණ්ඩුව සහ ආර්ථික ප්‍රභූ පැළැන්තිය අතර ඇති සුහද සම්බන්ධතාවය විදේශීය සහ දේශීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා අතර ගැටුම මගින් පරීක්ෂාවට ලක් වනු පෙනේ. බලශක්ති අංශයේ යෝජිත ප්‍රතිසංස්කරණ කෙරෙන් මෙම ආතතීන් පිළිබිඹු වෙයි. දේශීය වෙළඳපල ජාත්‍යන්තර තරඟකාරිත්වය සඳහා විවෘත කිරීම සඳහා රජයට අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුව ආදී ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් එල්ල වන පීඩනය නොතකා දේශීය වෙළඳපොළ තුළ ස්වාධිකාරය පවත්වාගෙන යාමට උත්සාහ කරන රාජ්‍ය ව්‍යවසායන් ද ඇතුළත් මේ ගණයටම අයත් වේ. දේශීය ආර්ථික ප්‍රභූ පැලැන්තිය ශ්‍රී ලංකාව කුවේර තන්ත්‍රයක් (ධනවතුන්ගේ පාලනයක්) බවට පරිවර්තනය කිරිමට ගන්නා උත්සාහයන් දිස් වුව ද, පෙර කී ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බලවත් රටවල මැදිහත් වීමෙන් මෙරට ව්‍යාපාර සිදු කරන විදේශීය සමාගම්වල අවශ්‍යතා මැද ආණ්ඩුව දෙපසට ඇදෙනු පෙනේ. මේ අභියෝගවලට මුහුණ දීම, ඇතැම් විට, මධ්‍යම සහ පහළ ආදායම් ලබන පන්තිවල ප්‍රසාදය දිනා ගැනීමට උත්සාහ කරන රජයේ දූෂණ විරෝධී ආඛ්‍යානය ද පරීක්ෂාවට ලක් කරනු ඇත.
දේශීය වශනේ සිදු කරනා අයුරින් ම ජාත්‍යන්තර මට්ටමින් ද ජනප්‍රියත්වය පසුපස හඹා යාම ආණ්ඩුවේ ගමන් මගට යහපත් දෙයක් නොවේ. ශ්‍රී ලංකාව එක්සත් ජනපදය ප්‍රමුඛව, ඉන්දියාව ද ඇතුළත් බටහිර රටවල කක්ෂයේ ස්ථිරව රැඳී සිටින අතර, එය 2022 ආර්ථික අර්බුදයෙන් පසුව සහ අයි.එම්.එෆ්. වැඩසටහනට ඇතුළු වීමෙන් පසු මුල් බැසගත් යථාර්ථයකි. ඊශ්‍රායලය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියෙන් මෙය පැහැදිලි වේ. මෙම වසරේ ප්‍රකාශයට පත් කරන ලද ඒකපාර්ශ්වික ඇමරිකානු තීරුබදු සම්බන්ධයෙන් වඩා හොඳ ගනුදෙනුවක් ලබා ගැනීම සඳහා ආණ්ඩුව දරන උත්සාහයන් කොටසක් ලෙස මෙම මෙම සම්බන්ධය පවතින බව පෙනෙන්නට තිබේ. යතාර්ථය එසේ වුව ද, සෑම ප්‍රධාන රටක්ම ජාජබ ආණ්ඩුවෙන් අපේක්ෂා කරන දේ සමඟ සිය ප්‍රමුඛතා සමතුලිත කිරීමට උත්සාහ කරමින් ජනප්‍රියත්වය රැක ගැනීමට ඔවුන් උත්සාහ කරයි. ඒ සඳහා ක්‍රමෝපායික වශයෙන්, ඒ රටවල් සමඟ සම්බන්ධතා උපරිම කිරීමට ආණ්ඩුව කටයුතු කරයි. ජනාධිපතිවරයා මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයට සහ ජපානයට කළ සංචාර, අගමැති චීනයට සහ ඉන්දියාවේ කළ සංචාර සහ ජනතා විමුක්ති පෙරමුණේ වඩාත්ම බලගතු පුද්ගලයින් දෙදෙනෙකු වන ටිල්වින් සිල්වා සහ බිමල් රත්නායක චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිලධාරීන් හමුවීමෙන් මෙය දක්නට ලැබේ.
පැහැදිලි උපාය මාර්ගයකින් තොරව මේ සෑම රටක් සමඟම සිය සබඳතා වර්ධනය කර ගැනීමෙන් ආණ්ඩුවට එතරම් සාධනීය ප්‍රතිඵල ලබා ගත නොහකි වනු ඇත. මෑතකදී පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට (ඉන්දියාව සහ චීනය අතර වර්ධනය වන සංහිඳියාවක් පවතින අවස්ථාවක) ශ්‍රී ලංකාව සහභාගී නොවීම සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව හුදකලා වීම වැනි සමහර දර්ශක මඟින් මෙය පැහැදිලි වේ. ජිනීවා හි දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වීමෙන් ආණ්ඩුව ‘පරාජයක්’ වාර්තා නොකිරීම පිණිස තරඟ බිමට නොයාම සනිටුහන් විය. ලෝක බහු ධ්‍රැවීය යුගුයක් කර සංක්‍රාන්ති වන මේ අවස්ථාවේ පවතින අනිවාර්ය අස්ථාවරත්වය වැඩි වීමත් සමඟ, භූ දේශපාලනික පෙරමුණේ ද ශ්‍රී ලංකාවේ අවදානම වැඩි වී තිබේ. මෙකී තත්ත්වය වඩාත් අධිෂ්ඨානශීලී ක්‍රියාකාරීන් උදුරා ගැනීමේ අවදානම මඟ නොහැරිය යුතුය.
ජනප්‍රියව සිටීමට සහ මහජන හැඟීම් පසු පස යාමට ජාජබ ආණ්ඩුවට ඇති ආශාව මඟින් ප්‍රධාන අවදානමක් මතු කරයි. ඒ, ආණ්ඩුව වාද්‍ය වෘන්දයකට නායකත්වය දෙන සංගීත මෙයෙවන්නාගේ භූමිකාවෙන් විතැන්ව ගායනයේ හඬ විවර්ධනය කරන හුදු පසුබිම් ගායන වෘන්ද සමාජිකයකු බවට පත් වීමයි. එවිට, මිහිරි සංධ්වනිය මෙහෙය වූ යෂ්ටිය, විසම්මුතිය මැඩලන පොලිස් බැටන් පොල්ලක් බවට පත් වීමට ඉඩ තිබේ.
හරින්ද්‍ර බී දසනායක සහ රජ්නි ගමගේ
මෙම ලිපිය මුලින් පළ කරන ලද්දේ 2025 ඔක්තෝබර් 24 වන දින අනිද්දා පුවත්පතේ ය.
පින්තූර ප්‍රකාශන හිමිකම © කර්තෘවරු

