වර්ෂ 2022න් පසු කාලසීමාව තුළ, රාජපක්ෂ පාලනයේ බිඳවැටීම සහ ‘අරගලය’ හරහා ගොඩනැගුණු ජාතීන් අතර සහයෝගීතාවය නිසා දැඩි මතධාරී බෞද්ධ ජාතිකවාදී අදහස් යටපත් වී ඇති බව මුලින් පෙනෙන්නට තිබුණි. එහෙත්, පසුව එම බෞද්ධ ජාතිකවාදී ප්රවණතා වඩාත් විවිධාකාර ස්වරූපවලින් යළිත් කරළියට පැමිණෙමින් තිබූ අතර 2024 වසරේදී ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ, මෙකී බලකේන්ද්රවලත්, ඔවුන්ගේ දේශපාලන කතිකාවෙහි සහ බලමුලු ගැන්වීමේ විලාසය අඛණ්ඩව වෙනස් වෙමින් පවතින බව පෙනේ.
පසුගිය වසරේ අග භාගයේ දී ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට යාබද භූමියක බුදු පිළිමයක් තැන්පත් කිරීමත් සමඟ රටේම අවධානයට ලක් වූ සිදුවීම් මාලාවක් ආරම්භ විය. වර්ෂ 1951 වසරේදී ආරම්භ කර ඇති මෙම විහාරස්ථානයට 2014 වසරේදී ජනාධිපති ප්‍රදානයක් මගින් ඉඩම් අයිතිය ලැබී තිබුණද, එම ඉඩම වෙරළ සංරක්ෂණ පනත යටතේ පාලනය වන්නකි. ඒ අනුව අවසරයකින් තොරව එහි ඉදිකිරීම් සිදු කිරීම තහනම් වේ. මෑත කාලීනව, විහාරාධිපති හිමියන්ගේ අනුමැතිය ඇතිව එහි තාවකාලික ආහාර අලෙවි සැලක් ඉදිකර තිබූ අතර, එය ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් ලබා ගත්තේය.
මෙම තත්ත්වය හමුවේ බාලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළහ. එහිදී පොලිසිය සහ එම පිරිස අතර ඇති වූ ගැටුම ප්‍රධාන පුවත් සිරස්තල මැවීය. මේ සම්බන්ධයෙන් ජාතිකවාදී පාර්ශ්වයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව සිය ස්ථාවරය ලිහිල් කළ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පිළිමයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය මැදිහත් වූ බවයි. පොලීසියට ගොස් තිබූ පිළිමය නැවත එකී ස්ථානයේ තැන්පත් කරන ලද අතර, අධිකරණ නියෝගයට අනුව ඉවත් කිරීමට නියමිතව තිබූ තාවකාලික ඉදිකිරීම ද පසුව ඉවත් කෙරිණි.
මීට පෙර ජාතිකවාදී කඳවුර විසින් මහවිරු දින සැමරුම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි හිස එසවනු ඇතිය යන බිය සහ රජය විසින් මැයි 19 වන දින පවත්වනු ලබන ‘යුද ජයග්‍රහණ’ සැමරුම කෙරෙහි මන්දොත්සාහී පිළිවෙත්ක් අනුගමනය කළා යැයි වැනි කරුණු උපයෝගී කරගනිමින් සිංහල බෞද්ධ ජනමතය කැළඹවීමට කිරීමට උත්සාහ කළද, එම ප්රයත්නයන් කෙරෙහි විශාල ජනතා අවධානයක් යොමු නොවීය. එහෙත්, ත්‍රිකුණාමලය සිද්ධිය මෙම දේශපාලන කතිකාවතේ පැහැදිලි හැරවුම් ලක්ෂය සනිටුහන් කළේය. මේ අතර, බුදු පිළිමය සම්බන්ධයෙන් රජය මුලින් දැරූ ස්ථාවරය වෙනස් කිරීම මගින් ඔවුන් සිංහල බෞද්ධ ජනමතයට එරෙහි ස්ථාවරයක් දැරීමට දක්වන මැලි බව මනාව පැහැදිලි විය.
තව ද පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් දළදා ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම ආණ්ඩුව බෞද්ධ ජනමතය දිනා ගැනීමට ඇති සිය අභිලාෂය පිළිබිඹු කරන්නකි විය. කෙසේ වෙතත්, ත්‍රිකුණාමලය සිද්ධියේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම, ජාතිකවාදී බලවේගයන්ට යළි සංවිධානය වීම සඳහා ප්‍රබල වේදිකාවක් නිර්මාණය කර දුන්නේය.
මීට අමතරව, නැගෙනහිර පළාතේ කෝරලෙයි පත්තු (චෙන්කලඩි) ප්‍රාදේශීය සභාව සහ කලුවන්චිකුඩි ප්‍රාදේශීය සභා ප්‍රදේශවල, පුරාවිද්‍යා උරුම ස්ථාන හඳුනා ගැනීම සහ සලකුණු කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව සවි කර තිබූ සංඥා පුවරු, ප්‍රාදේශීය සභා නීතිය යටතේ අවසර ලබාගෙන නොමැති බව පවසමින් පළාත් පාලන බලධාරීන් විසින් ඉවත් කොට තිබිණි. සිංහල සමාජය තුළ ඊට එරෙහිව සැලකිය යුතු මහජන විරෝධයක් නැගී ආ විට ආණ්ඩුව පාර්ශවයේ සංවේදීතාව ප්‍රකාශ විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, මධ්‍යම රජය ප්‍රකාශ කළේ සංඥා පුවරු සඳහා ප්‍රාදේශීය සභාවලින් අනුමැතිය අවශ්‍ය නොවන බවයි. පසුව, වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය පුවරු නැවත ස්ථාපනය කිරීමට නියෝග කළේය. මෙම සිදුවීමෙන් ද පෙන්නුම් කරන්නේ බුදු දහමට අදාළ ගැටළු කෙතරම් වේගයෙන් ගිනි ඇවිලේද යන්නයි. අනෙක් අතට, අරගලයෙන් පසු ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයන්හි මෙන් ම ජාතික ජන බලවේග රජයේ ක්‍රියාකාරිත්වය තුළ ප්‍රකට වන ජාතිවාදී විරෝධී ස්ථාවරයේ බිඳෙනසුලු බවයි.
බෞද්ධ ජාතිකවාදයේ බලයට ජජාබය කරන අභියෝගය
2026 ජනවාරි මාසයේදී යාපනයේ පැවති ප්‍රසිද්ධ දේශනයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකින්, ජාතික ජන බලවේග රජය ජාතිවාදයට එරෙහිව දරන සෘජු ස්ථාවරය මනාව පැහැදිලි විය. එහිදී කන්කසන්තුරේ තායියිඩි ප්‍රදේශයේ පිහිටි මතභේදාත්මක තිස්ස විහාරය පිළිබඳව ඉඟි කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ඇතැමුන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම පසෙකලා එම පුදබිම පසු කරමින් සිල් සමාදන් වීම සඳහා දකුණේ සිට උතුරට පැමිණෙන බවයි.
ඔවුන් සැබෑ ලෙසම ආගමික වතාවත්වල නිරත වීමට වඩා ජාතිවාදය සහ වෛරය වැපිරීමට උත්සාහ කරන බවට ඔහු එහිදී චෝදනා කළේය. මෙම ප්‍රකාශය සමාජය තුළ දැඩි කතාබහට ලක් වූ අතර, ඔහු බෞද්ධයන්ගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරන බවට විපක්ෂ කණ්ඩායම්වලින් චෝදනා එල්ල විය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පාදක වී ඇත්තේ, ඓතිහාසික අතීතයකට උරුමකම් කියන බව පවසමින් මෑතකාලීනව යළි ගොඩනැගීමට උත්සාහ කරන විහාරස්ථානයක් පිළිබඳ සිදුවීමකි. වර්ෂ 1964 වසරේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සිතියමක, දැනට තිස්ස විහාරය යැයි හිමිකම් කියන මෙම විහාර භූමියට ආසන්න ස්ථානයක බෞද්ධ විහාරයක් සලකුණු කර ඇතත්, යුද සමයේදී එම ඉඩම අතහැර දමා තිබූ බව පැවසේ.
2018 වසරේ සිට, එවකට සිටි ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ගේ සහ යුද හමුදාවේ සහාය ඇතිව, භික්ෂූන් වහන්සේලා සහ පිරිසක් මෙම යාබද ඉඩම විහාරස්ථානයට අයත් බවට හිමිකම් කීමට පටන් ගත්හ. කෙසේ වෙතත්, එම ඉඩමේ නීත්‍යානුකූල ඔප්පු හිමි ප්‍රදේශවාසීන් මෙසේ තිස්ස විහාරය යැයි හිමිකම් පෑම අභියෝගයට ලක් කරති. දැනට දැඩි හමුදා ආරක්ෂාවක් සහිත මෙම විහාරස්ථානය ඉදිරිපිට එම ප්‍රදේශයේ දෙමළ ජනතාව විරෝධතාවල නිරත වන අතර, පෝය දිනවලදී දකුණේ සිට පැමිණෙන බැතිමතුන් කණ්ඩායම් වශයෙන් එහි සිල් සමාදන් වෙති. ක්‍රි.පූ. 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව කියැවෙන විහාරය මෙය යැයි ප්‍රවාදයක් ගොඩ නැගීමට ඊට හිමිකම් පාන බෞද්ධ කණ්ඩායම් ප්රයත්න දැරුව ද එය සනාථ කිරීමට තරම් ප්‍රබල පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙතෙක් හමුවී නොමැත.
ජනාධිපතිවරයාගේ උක්ත ප්‍රකාශය, නිදහසින් පසු ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැගීමේ පදනම බවට පත්ව තිබූ ‘වරප්රසාදිත සිංහල බෞද්ධ උරුමයට’ එල්ල කළ ප්‍රබල අභියෝගයක් සනිටුහන් කරයි. මෙය 2025 මැයි මාසයේ පැවති 16 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට හරයාත්මක වශයෙන් බොහෝ සෙයින් සමාන ය. එහිදී ඔහු සන්නද්ධ හමුදා සාමාජිකයන් හැඳින්වීම සඳහා රාජපක්ෂ යුගයේ සිට භාවිතා කරන ‘රණවිරු’ යන යෙදුම වෙනුවට ‘සෙබළු’ යන යෙදුම භාවිතා කළේය. මෙම ප්‍රකාශයන්, සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් පරිබාහිරව පවතින බල කේන්ද්‍රයන් වන හමුදාව සහ බෞද්ධ ආයතනික ව්‍යුහයන්ගේ බලයට අභියෝග කිරීමට දරන උත්සාහයන් ලෙස හඳුනාගත හැකිය.
2026 වසර ආරම්භය වන විට, රජය බෞද්ධ සංස්ථාපිතය සමඟ කටයුතු කරන ආකාරයෙහි පැහැදිලි වෙනසක් නිරීක්ෂණය කළ හැකිය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ටික කලකට පෙර, රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය විවේචනය කළ මිහින්තලේ නායක හිමියන්ට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත ‘මිහින්තලේ වනචාරියා’ යන යෙදුම භාවිත කළේය. 2022 ආර්ථික අර්බුදයත් සමඟ රජයේ මූල්‍ය ධාරිතාව සීමා වීම නිසා ආගමික ආයතන වෙත ලැබුණු රාජ්‍ය අනුග්‍රහය සැබෑ ලෙසම හීන වී ගියේය. මෙම පසුබිම තුළ, රාජ්‍ය පොසොන් උත්සවයට වෙන් කරන ලද මුදල් සීමා කීරීම පසුබිම් කොට ගෙන, රජයට එරෙහිව මතු වන භික්ෂු විරෝධතාවල ප්‍රධාන කේන්ද්‍රයක් බවට මිහින්තලේ හිමියන් පත්ව සිටිති.
මෑතකදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්මන්ත්රණ මාලාවක අංගයක් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් මොනරාගල පැවති එක් උත්සවයකදී ඇති වූ සිදු වීමක් වාර්තා විය. එනම්, වැඩසටහන සඳහා සූදානම් කොට තිබූ න්‍යාය පත්‍රයෙන් ‘පන්සිල් සමාදන් වීම’ ඉවත් කිරීමයි. එම අවස්ථාවට අධ්‍යාපන ක්ෂේත්රයේ නියැලෙන භික්ෂූන් වහන්සේලා 15 නමක් පමණ වැඩම කර සිටි අතර, වැඩසටහන ආරම්භයේදී ආගමික වතාවත් සිදු නොකිරීම තමන්ට කළ අගෞරවයක් සේ සලකා උන්වහන්සේලා පිරිසක් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි. රජයේ ඉදිරි පෙළ නායකයින් අනුගමනය කරන මෙම ස්ථාවරයන් දෙස බැලීමේදී, එය රජයේ පාර්ශ්වයෙන් සැලසුම් සහගතව ක්‍රියාවට නංවන දේශපාලන උපාය මාර්ගයක ප්‍රතිඵලයක් බව අනුමාන කළ හැකි වේය.
සංඝයාවහන්සේ අතරැති නොසන්සුන්තාව සහ ඔවුන්ගේ ඉල්ලීම්
බෞද්ධ සංස්ථාපිතය හැසිරවීම සඳහා රජය අනුගමනය කරන නව දේශපාලන උපාය මාර්ගය වටහාගත යුත්තේ, සංඝයා අතර කාලාන්තරයක් තිස්සේ මුල් බැස තිබූ ව්‍යුහාත්මක නොසන්සුන්තාව සහ මෑතකාලීන අතෘප්තිමත්භාවය යන සන්දර්භය තුළය. ශ්‍රී ලාංකික බෞද්ධ සාශනය යනු හුදෙක් දේශපාලඥයන් ගන්නා තීන්දු සුජාත කරන බල මූලාශ්‍රයක් පමණක් නොවේ; එය දේශපාලන අධිකාරිය මෙහෙයවීමට සහ රජයේ න්‍යාය පත්‍ර සැකසීමට සෘජුව මැදිහත් වීමට දීර්ඝ කාලයක සිට උත්සාහ කරන ප්‍රධානතම බල මූලයකි.
යුද සමය තුළ මෙන්ම පශ්චාත් යුද සමයේදී මතු වූ මුස්ලිම් විරෝධී මතවාදයන් හමුවේ මෙම නොසන්සුන්තාවන් විවිධ ආකාරවලින් ප්‍රකාශ විය. භික්ෂූන් වහන්සේලා සෘජුවම පක්ෂ ප්රමුඛ මැතිවරණ දේශපාලනයට පිවිසීම, වඩාත් සටන්කාමී ස්වරූපයක් ගැනීම සහ විවිධ සමාජ ව්‍යාපාර හරහා රජයේ දේශපාලන මාවතට බලපෑම් කිරීම මින් සමහරකි. ලිබරල් සහ ලෞකික දේශපාලන මතවාදයන් සමාජය තුළ ව්‍යාප්ත වීමත්, ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛත්වය ලැබීම යන්න ප්‍රමාණවත් ලෙස ද්රරව්යමය ප්රතිලාභ බවට හැරීමක් සිදු නොවනාය යන හැඟීමත් හමුවේ, දේශපාලනිකව සක්‍රීය වීමේ අවශ්‍යතාවය සංඝයා වහන්සේ තුළ තදින්ම දැනෙන්නට විය. වඩාත් ලෞකික සහ පරිභෝජනාත්මක වූ ජීවන රටා ජනප්‍රිය වීම බෞද්ධ වරප්රසාදයන්ට එල්ල වන අභියෝගයක් ලෙස ඇතැම් භික්ෂූන් වහන්සේ දකිති. මෙකී කාංසා තත්ත්වය තුළ, ශ්‍රී ලංකාව යනු ව්‍යවස්ථාමය වශයෙන් පිළි නොගත් නමුත්, ‘දිව්‍යාණ්ඩුමය’ ලක්ෂණ සහිත රටක් බවට ඔවුන් අතරින් ඇතමෙක් තර්ක කරති.
නූතනකරණය සහ ධනවාදී සමාජ රටාව හමුවේ තම සමාජ තත්ත්වය ගිලිහී යාම පිළිබඳව භික්ෂූන් වහන්සේලා තුළ ප්‍රබල කනස්සල්ලක් පවතී. ශාසනයට එක්වන සාමනේර භික්ෂූන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහත වැටීම සහ වර්ධනය වන උපැවීදි වීම හේතුවෙන් ඇතැම් විහාරස්ථාන වැසී යාමේ තර්ජනයකට ද මුහුණ දී ඇත. විශේෂයෙන්ම, පහසුකම් සහිත පාසල්වල ඉගෙනුම ලබන ගිහි සිසුන් හා සසඳන විට, පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර භික්ෂූන්ට ප්‍රමාණවත් අධ්‍යාපන පහසුකම් නොමැතිකම නිසා භික්ෂූන් සතුව තිබූ සමාජීය සහ බුද්ධිමය නායකත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව දැනේ.
ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට ඇති සීමිත ප්‍රවේශය සහ තරුණ භික්ෂූන් සමාජ මාධ්‍යවලට අහිතකර ලෙස ඇබ්බැහි වීම මඟින් ඇතිවන අයහපත් බලපෑම්, සංඝ සංස්ථාපිතයේ පැවැත්මට එල්ල වූ තර්ජන ලෙස සැලකේ. වර්තමාන පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ද ඔවුන් අතර දැඩි විවේචන පවතී. එහිදී ප්‍රධාන වශයෙන් එකිනෙකින් පරස්පර දුර්වලතා දෙකක් මතු වේ: එකක් නම්, නූතන ලෝකය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සාමනේර භික්ෂුවකට නොලැබේය යන අදහසයි. අනෙක නම්, මිට ඉඳුරා වෙනස් ලෙස, ආගමික ශික්ෂණයෙන් හෙබි විචක්ෂණශීලී භික්ෂුවක් බිහි කිරීමට තරම් එම අධ්‍යාපන ක්‍රමය විශේෂිත භික්ෂු අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් ගැඹුරක් හෝ නිශ්චිත ඉලක්කයක් අනුව නොපැවතීමයි.
සාම්ප්‍රදායික ගෞරවනීය පිළිවෙත්වලින් බැහැර වූ සමාජ මාධ්‍ය සංස්කෘතියට භික්ෂූන් නිරාවරණය වීම, සංඝ සංස්ථාපිතයේ සදාචාරාත්මක අධිකාරියට දැඩි හානියක් සිදු කර ඇත. විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත වන ‘ව්‍යවසායක භික්ෂූන්’ බිහිවීමත් සමඟ මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇති අතර, එයින් සමස්ත සංඝ සමාජයම කෑදරකම, දූෂණය සහ චීවරයෙන් ලැබෙන බලය අවභාවිත කිරීම වැනි චෝදනාවලට ලක්ව සිටිති.
මෙම පසුබිම තුළ, භික්ෂූන්ගේ විනය නියාමනය කිරීම සඳහා ‘ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත’ වැනි නීතිමය රාමුවක අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් මතු වී තිබේ. වත්මන් නීතිමය තත්ත්වය යටතේ, විනය විරෝධී ලෙස හැසිරෙන භික්ෂූන් ශාසනයෙන් නෙරපා හැරීම වැනි දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට මහා නායකවරුන්ට හෝ ආගමික ආයතනවලට පැහැදිලි නීතිමය බලයක් නොමැත. මේ හේතුවෙන්, ඇතැම් ‘නොමඟ ගිය’ භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් සමස්ත බුදුදහම සහ සංඝ ශාසනයම නියෝජනය කරන බවට සමාජය තුළ වැරදි මතයක් ඇති වේ යැයි බියක් සංඝයා විසින් ඉදිරිපත් කරති.
තවද, සංඝ සමාජය තුළ පවතින කුල භේදය, ප්‍රාදේශීය බෙදීම් (උදා: නාගරික හා ග්‍රාමීය) සහ ඉහළ වරප්රසාදිත භික්ෂූන් සහ පහළ මට්ටමේ භික්ෂූන් අතර පවතින විෂමතාවයන් මඟින් ද මෙම අර්බුදය වඩාත් තීව්ර කර ඇත. සංඝ සමාජය තුළ පවතින මෙම අභ්‍යන්තර බෙදීම් සහ එකිනෙකා කෙරෙහි ඇති අවිශ්වාසය හේතුවෙන් ‘කතිකාවත් පනත’ වැනි නියාමන නීති පැනවීමට ගන්නා උත්සාහයන් ද දිගින් දිගටම බාධාවට ලක්ව තිබේ.
සඟ සමුළුව සහ කරුණු 10 කින් යුත් ප්රඥප්තිය
මෙකී සන්දර්භය තුළ, සංඝයා කෙරෙන් ඇති වූ ක්ෂණික ප්‍රතිචාරයන්ගෙන් පෙනී යන්නේ, ජාතික ජන බලවේග රජය බුදුදහම, සංඝ සමාජය සහ සාම්ප්‍රදායික වටිනාකම් නොසලකා හරිමින් කටයුතු කරන බවට උන්වහන්සේලා තුළ විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි. 2025 සැප්තැම්බර් මාසයේදී ත්‍රිවිධ මහා නිකායේ මහනායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබමින් රජයේ ඇතැම් තීරණ විවේචනය කළහ. එහිදී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් අවධාරණය කෙරිණි:
- (සිසුන්ට/ ළමුන්ට) ශාරීරික දඬුවම් ලබා දීම වරදක් ලෙස සලකා දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ඒමට යෝජිත සංශෝධන.
- LGBTQ ප්‍රජාව ඉලක්ක කරගත් ක්‍රියාකාරකම් ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයන්.
මෙම පියවර මගින් මෙරට සංස්කෘතික වටිනාකම්වලට හානි සිදු විය හැකි බවත්, එය බරපතල සමාජ ව්‍යසනයන්ට මග පාදන බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙන ලදී. මීට අමතරව, අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක හිමිපාණන් ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්, ත්‍රිකුණාමලයේ බුදු පිළිමය සම්බන්ධ සිදුවීමේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය දැඩි ලෙස හෙළා දකිමින් එය ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටියහ.
මෙම වර්ධනයන් හමුවේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් පිරිසක් ‘සංඝ සමුළුවක්’ කැඳවීමට පියවර ගත්හ. එහිදී ඔවුන් අවධාරණය කළේ බුද්ධ ශාසනයට එරෙහිව සැලසුම් සහගත අසාධාරණයක් සිදුවෙමින් පවතින බවයි. විශේෂයෙන්ම නීතිය අසමාන ලෙස ක්‍රියාත්මක කිරීම, පොලිසිය විසින් භික්ෂූන් වහන්සේලාට පහර දීම සහ විවිධ අපහාසාත්මක උපක්‍රම හරහා සංඝ සමාජයේ බලපෑම අඩපණ කිරීමට සංවිධානාත්මක උත්සාහයක් පවතින බවට උන්වහන්සේ චෝදනා කළහ. මෙම තත්ත්වයන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කෙරුණු අතර එහිදී, මහා සංඝරත්නයේ කරුණු දහයකින් යුත් ප්රඥප්තියක් ද ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම සංඝ සමුළුව තුළ කැපී පෙනෙන ප්රවණතා කිහිපයක් නිරීක්ෂණය කළ හැකි විය. අතීත රාජපක්ෂ පාලන තන්ත්රයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ භික්ෂූන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම අවස්ථාවට භික්ෂූන් 500 නමක් පමණ සහභාගී වූහ. සමුළුව පැවති දිනට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, අස්ගිරි පාර්ශවයේ අනුනායක නාරම්පනාව ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ, බාධා සහ දුෂ්කරතා පැවතිය ද භික්ෂූන් වඩාත් සන්සුන්ව කටයුතු කළ යුතු බවයි. සඟ සමුලුවට සහභාගී වීම අතින් අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයේ අඩුවක් දක්නට ලැබුණි. ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා වෙත විරෝධතා ලිපිය යොමු කර තිබුණේ අමරපුර නිකාය විසිනි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ බුදුදහම සම්බන්ධයෙන් රජය දක්වන ‘උදාසීන’ පිළිවෙත පිළිබඳව සංඝ සමාජය තුළ පොදු එකඟතාවක් ගොඩනැගෙමින් පවතින බවයි. ඇතැම් නිරීක්ෂකයන් මෙම ‘සංඝ සමුළුව’ දේශපාලනික අරමුණු සහිත අන්තවාදී උත්සාහයක් ලෙස බැහැර කළ හැකි වුවද, රටේ විවිධ ප්‍රදේශවල වෙසෙන භික්ෂූන් වහන්සේලා සමඟ මේ ලියම්කරුවන් සිදු කළ සාකච්ඡාවලින් ද හෙළි වන්නේ මෙම දුක්ගැනවිලි උන්වහන්සේ අතර පොදුවේ පවතින බවයි. විශේෂයෙන්ම රජයේ ක්‍රියාකලාපයන් (හෝ නිහඬ පිළිවෙත) මෙන්ම, අනුග්‍රහය අතින් අඩු වරප්රසාදිත පන්සල් මුහුණ දෙන අසමානතාවය ද මෙම කණස්සුලු භාවයන් හරහා මනාව නිරූපණය වේ.
ජාතික ජන බලවේග රජය අනුගමනය කරන ‘නිරාගමික’ ස්ථාවරය තේරුම් ගත යුත්තේ ඉහත සඳහන් කළ බෞද්ධ සමාජය තුළ පවතින අනාරක්ෂිතභාවය පිළිබඳ සන්දර්භය තුළය. මෙම අනාරක්ෂිතභාවය සහ බිය සංඝ සමාජය කෙරෙන් මතු වන අවස්ථාවලදී, ආණ්ඩු එය සාමාන්‍යයෙන් දකින්නේ පවතින සැබෑ දුක්ගැනවිලිවල ප්රකාශනයක් ලෙස නොව, තමන්ට එල්ල වන ‘දේශපාලන විරුද්ධත්වයක්’ ලෙසය. මෙය වර්තමාන ආණ්ඩුව මඟින් ද සිදු කළ හැකි වැරදි අර්ථකථනයකි. විශේෂයෙන්ම, මෙම ‘සංඝ සමුළුවේ’ ප්‍රධාන සංවිධායකයන් ලෙස රාජපක්ෂ සහ වික්‍රමසිහ කඳවුරුවලට හිතවත් දේශපාලනික භික්ෂූන් පෙරමුණ ගෙන සිටීම නිසා, මෙය හුදෙක් දේශපාලන කුමන්ත්‍රණයක් පමණක්ය යන රජයේ ස්ථාවරය තවදුරටත් තහවුරු වීමට ඉඩ ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවකමෙම සමුළුවට කෙටි වේලාවකට සහභාගී වීම හේතුවෙන් එය දේශපාලන අරමුණු සහිත උත්සවයක් ලෙස අර්ථකථනය කිරීමට තවදුරටත් හේතු විය හැකිය. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු ඇති වූ ප්‍රතිචාර හේතුවෙන් රජය සහ සංඝ සමාජය අතර පවතින අවිශ්වාසය තවදුරටත් ගැඹුරු වීමට ඉඩ ඇත. විශේෂයෙන්ම, සමාජ මාධ්‍ය හරහා සිදුවන මාධ්‍ය ආවරණය සහ රජයට පක්ෂ මෙන්ම විපක්ෂයට හිතවත් කණ්ඩායම් විසින් සංඝයා එල්ල කර මෙහෙයවනු ලබන සංවිධිත දුෂ්-ප්‍රචාරණ ව්‍යාපාර හේතුවෙන් මෙම මතවාදී පරතරය තවදුරටත් පුළුල් වේ. රජයට පක්ෂපාතී කණ්ඩායම් මෙම සමුළුව සමච්චලයට ලක් කළ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු 10 කින් යුත් ප්‍රකාශයේ අවසාන කරුණ මතු කරමින් ඔවුන් පවසන්නේ සංඝ සමාජය කෙරෙහි පවතින මහජන ගෞරවය පිරිහී ඇති බවයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව සමාජ මාධ්‍ය භාවිතා කරමින් දියත් කරන සංවිධානාත්මක අපහාසාත්මක ව්‍යාපාර හරහා ‘නව යොවුන් පරම්පරාවේ’ තරුණයින් නොමඟ යැවීමට කටයුතු කරන බවට වන චෝදනාව ද මෙහිදී නිතර අසන්නට ලැබෙන්නකි.
මෙම දේශපාලන කතිකාවන් දෙස බැලීමේදී පෙනී යන්නේ, ‘අරගලය’ හරහා බලාපොරොත්තු වූ ජාතිවාදයෙන් තොර ‘පශ්චාත්-ජනවාර්ගික’ සමාජය ගොඩනැගීම දුෂ්කර ගමනක් බවයි. ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ බෞද්ධ ජාතිකවාදයේ වඩාත් ‘මෘදු’ ස්වරූපයක් සඳහා අවකාශය නිර්මාණය වීමකි. රාජපක්ෂ පාලන සමයේ පැවති සටන්කාමී බෞද්ධ ජාතිකවාදයට වඩා වෙනස් වූ මෙම නව ප්‍රවණතාව, 2022 න් පසු සහ 2024 මැතිවරණ සමයේදී ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ ස්ථාපිත වී ඇත. සඟ සමුළුව අතරතුර පැවැත්වූ දේශනවලදී ජාතීන් අතර සහජීවනය පිළිබඳ සහතිකයක් ලබා දීමට කථික හිමිවරු පියවර ගත්හ. එහිදී අවධාරණය කෙරුණේ තම ප්‍රධාන විරෝධය සුළුතර ජාතීන්ට එරෙහිව නොව, බුදුදහමට ‘අගෞරව කරන’ රජයේ සිටින ‘සිංහල බෞද්ධ’ පිරිස් වෙත එල්ල වන බවයි. මෙහි ඇති විශේෂත්වය සහ සංකේතාත්මක වැදගත්කම වන්නේ, සටන්කාමී ජාතිකවාදයේ ප්‍රධානතම චරිතයක් වන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම රැස්වීමේදී පසුපෙළ අසුනක රැඳී සිටීමයි. එහිදී උන්වහන්සේට කිසිදු ප්‍රධාන භූමිකාවක් හිමි නොවීය.
දේශපාලන පක්ෂවල උපායමාර්ගික මැදිහත්වීම
මෙම වර්ධනයන් හරහා බෞද්ධ ජාතිකවාදය දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කරන විපක්ෂ කණ්ඩායම්වලට දීර්ඝ කාලයක සිට බලා සිටි අවස්ථාවක් උදා විය. මෙහිදී ප්‍රධාන උපායමාර්ග දෙකක් නිරීක්ෂණය කළ හැකිය. නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ දිලිත් ජයවීර මහතා ප්රමුඛ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස නියෝජනය කරන ‘සර්වජන බලය’ වැනි ප්‍රකට ජාතිකවාදී කණ්ඩායම් මෙම සමුළුවට සහභාගී නොවූහ. ඔවුන් තම ජාතිකවාදී ප්‍රතිරූපය නොවෙනස්ව පවත්වා ගනිමින්, ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ ලෞකික හා අදේවවාදී මාවතක යමින් මෙරට සංස්කෘතික හා ආගමික පදනම හිතාමතාම බිඳ දැමීමට උත්සාහ කරන බවට නිරන්තරයෙන් චෝදනා කරති. අනෙක් අතට, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස සහ පාඨලී චම්පික රණවක වැනි නායකයින් වඩාත් ‘සමබර’ ස්ථාවරයක් ගැනීමට උත්සාහ කරන අයුරු පෙනේ. පැවති සඟ සමුලුවට කිසිදු දේශපාලනඥයෙකුට නිල වශයෙන් ආරාධනා කර නොතිබුණද, ඔවුන් මෙම ගොඩ නැගනෙ දේශපාලන අවකාශය තුළ තම ලිබරල් මතධාරී පාක්ෂිකයන් මෙන්ම ගතානුගතික සහ ආගමික පාක්ෂිකයන් ද එකසේ දිනා ගැනීමට ප්රයත්න දරති. සඟ සමුලුවෙන් පසුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, රජයේ ඇතැම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් භික්ෂූන් වහන්සේ ඉලක්ක කර ගනිමින් කරන අපහාසාත්මක ප්‍රකාශ වහාම නතර කළ යුතු බවයි. විශේෂයෙන්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා භික්ෂූන් වහන්සේ නමකට ‘වනචාරියා’ වැනි වචන භාවිතා කිරීම දැඩි ලෙස විවේචනය කළ ඔහු, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු බව ද ප්‍රකාශ කළේය.
බෞද්ධ සංස්ථාපිතය සහ ජාතික ජන බලවේග රජය අතර වර්ධනය වන මෙම ගැටුමෙන් පෙනී යන්නේ, දේශපාලන ක්ෂේත්රයට බලපෑම් කළ හැකි විවිධ බල කේන්ද්‍රයන් තමන්ට නතු කර ගැනීමට ආණඩු කරන පාර්ශවය දරන උත්සාහයයි. සංඝ සමාජයට අමතරව, හමුදාව සහ සිවිල් සේවය සතු බලය සීමා කිරීමට ද රජය පියවර ගෙන ඇත. රජයේ ප්‍රධාන උපාය මාර්ගය වී ඇත්තේ තමන්ට අභියෝග කළ හැකි අනෙකුත් බල කේන්ද්‍රයන් දුර්වල කිරීම වුවද, ඒ සඳහා අවශ්‍ය මහජන සහයෝගය දිගින් දිගටම රඳවා ගැනීමයි අභියෝගකාරී වේ. මෙහිදී සංඝ සමාජය සතු සංස්කෘතික ශක්තිමත්භාවය හේතුවෙන්, අනෙකුත් සමාජීය සංස්ථාපිතයන්ට වඩා ප්‍රබල ප්‍රතිරෝධයක් දැක්වීමේ හැකියාව ඔවුන් සතුය. දූෂණ විරෝධය සහ දුගී ජනයාට සෙත සලසන බවට කෙරෙන පොරොන්දු මත පදනම් ව ජාජබ ආණඩුව අත් විඳින වත්මන් ජනප්‍රියතාවය තාවකාලික විය හැකිය. විශේෂයෙන්ම, දෘෂ්ටිවාදාත්මකව ස්ථාවර නොවන ඡන්දදායකයින් බහුතරයක් සිටින සමාජයක, එවන් වෙනස්වන කාරණා මත ගොඩ නගන ජනප්‍රියතාව ඕනෑම මොහොතක වෙනස් වීමේ අවදානමක් පවතී.
හරින්ද්‍ර බී දසනායක සහ රජ්නි ගමගේ
මෙම ලිපිය මුලින් පළ කරන ලද්දේ 2026 මාර්තු 27 වන දින අනිද්දා පුවත්පතේ ය.
පින්තූර ප්‍රකාශන හිමිකම © කර්තෘවරු

